දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය x සටහනක් තබමින් සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවය.
එහිදී දෙරට අතර මුල්බැසගෙන ඇති ඓතිහාසික සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳව ගැඹුරු ලෙස සාකච්ඡා කර ඇත.
දෙරට සහයෝගීතාව තවදුරටත් ශක්තිමක් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.
ඉන්දියානු නිවාස ව්‍යාපෘති සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද උප ජනාධිපතිවරයා සහ අනුර කුමාර දිසානායක මහතා අතර අදහස් හුවමාරු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් අද (19) පෙරවරුවේ දිවයිනට ළඟා විය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී සිදු වූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම සංචාරය අතරතුරදී, ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා, ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
අනතුරුව ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට නියමිත ඉන්දීය උප ජනාධිපතිවරයා, බම්බලපිටිය කදිරේෂන් කෝවිල සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගැනීමටද අපේක්ෂිතය.
මෙම නිල සංචාරයේ දෙවන දිනය වන හෙට (20) ඉන්දීය උප ජනාධිපතිවරයා නුවරඑළිය ප්‍රදේශයේ ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වනු ඇති අතර, එහිදී මලෛයගම් ප්‍රජාව හමුවීමට සැලසුම් කර ඇත.
නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සිය දෙදින නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.

