විශේෂාංග


Share now!

මහජන විරෝධයේ සාමකාමී බවත් විනයානුකූල ස්වාභාවයත් කෙමෙන් වියැකී යද්දී ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 2022 ජුනි මාසයේ සියයට 54.6 දක්වා ඉහළ ගිය බව වාර්තා වූයේය. එය සියලුම ආසියානු රටවලින් ඉහළම අනුපාතයේ වූ උද්ධමනයයි. සමස්ත ලෝකය ඇසුරෙන් බැලුව ද ශ්‍රී ලංකාව පසු වන්නේ ඉහළම උද්ධමනය පවතින රටවල් 10 අතර ය. ඒ සියලුම රටවල උද්ධමන වේගය සියයට 50කට වැඩි මට්ටමේ පවතී.

මාස 12ක් ඇතුලත උද්ධමන අනුපාතය සියයට 50 කින් වැඩිවී ඇති ආකාරය පසුගිය වසරේ ජූනි මාසයේ සහ මෙම වසරේ ජූනි මාසයේ උද්ධමන අනුපාතය සසදා බැලීමෙන් පෙනේ. එම 12 මසක කාල සීමාව ඇතුලත සාමාන්‍ය මිල ගණන් සියයට 50 කින් වැඩි වී තිබේ.

වෙනත් වචනවලින් කිවහොත් ඔබගේ අතේ ඇති මුදල්වල අගය භාගයකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවී ඇත. එමනිසා ඔබ මාස 12කට පෙර මිලදී ගත් දේ සඳහා වියදම් කිරීමට දැන් ඔබට ඊට දෙගුණයකට වඩා මුදලක් අවශ්‍යය වේ.

ඉහත සඳහන් කර ඇති මූලික උද්ධමනය හා සසදා බැලූ විට ආහාර උද්ධමනය සියයකට 80 කටත් වැඩි අනුපාතයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එයින් අදහස් වන්නේ ආහාර මිල, සියලුම පාරිභෝගික ද්‍රව්‍ය වල මිල වැඩිවූ වේගයට වඩා අධික වේගයකින් වැඩිවී ඇති බවයි. මූලික උද්ධමනය ගණනය කිරීම සඳහා සලකා බලනුයේ සියලුම පාරිභෝගික භාණ්ඩ යන වර්ගීකරණයට වැටෙන භාණ්ඩවල මිල ගණන් ය.

කරුණු වඩාත් නරක අතට හැරුණේ ඉහළ උද්ධමනය නිසාම නොවේ. ජනතාවගේ ව්‍යාපාර අහිමිවීම්, රැකියා හා ජීවන මාර්ග අහිමිවීමට ආදායම් මාර්ග අහිමිවීම් ද ඊට හේතු විය. එම නිසා ශ්‍රී ලාංකීය ජනයා ඉහළ උද්ධමනයෙනුත්, ආදායම් අහිමිවීමෙනුත් යන ගැටලු දෙකෙන්ම පහර ලද්දෝය. දේශීය වෙළඳපොළේ භාණ්ඩ සැපයුම හිඟවීමත්, එහි සර්පිලාකාරව පහළ බසින ප්‍රවණතාවත් නිෂ්පාදනයටත් ප්‍රවාහනයටත් බල පෑවේය. මේ හේතු නිසා ආර්ථිකය තව දුරටත් පහළට තල්ලුවී අසීරුතා තවත් වැඩි වූයේය.

කොටින් කිවහොත් ශ්‍රී ලංකාව වසරකට පෙර සිටියාට වඩා ඉහළ උද්ධමනය නිසා තවත් දුගීභාවයට ඇද වැටී තිබේ. සැමදෙනාම දුගීභාවයට පත්වෙද්දී පහළ මට්ටමේ ආදායම් වර්ගීකරණයට අයත් ජනතාව සහ වැන්දඹුවන් හා දරුවන් ආදී ඊට ගොදුරුවන කණ්ඩායම් තව තවත් දරුණු දරිද්‍රතාවට ඇදවැටුණේය. ජාතික දරිද්‍රතා රේඛාවට වඩා ඉහළින් සිටි බොහෝ මධ්‍යම මට්ටමේ ආදායම්ලාභීන්ද රටේ දරිද්‍රතා අනුපාතය ඉහළ යද්දී දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති සෙයක් පෙනේ.

මානුෂීය අර්බුදය

සති දෙකකට පෙරාතුව ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් ඕස්ට්‍රෙලියානු ABC රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඔහු දකුණු සුඩානය, සෝමාලියාව, යේමනය ආදී රටවල කටයුතු කර තිබෙන බවත් මෙතරම් අර්බුදයක් අනෙක් කිසිම රටක නොමැති බවත්ය. ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාවේ තත්ත්වය එම අප්‍රිකානු රටවලට වඩා බෙහෙවින් නරක මට්ටමකට පවතින්නේය යන්න යැයි අයෙක් වටහා ගනු ඇති කියා ය. ඔහු අදහස් කළේ එය නම්, ඔහු කී දේ සනාථ කිරීමට සංඛ්‍යාලේඛන හා තොරතුරු අප සතුවද නැති මුත් ශ්‍රී ලංකාව මේ වනවිට සැබෑ මානුෂීය අර්බුදයක වැටී සිටින බව නම් සැබෑ ය.

යුනිසෙෆ් ආයතනය මීළඟ මාස කිහිපය ඇතුළත ජනගහනයෙන් වඩාත්ම පීඩාවලට ගොදුරුවිය හැකි ජනයාගේ හදිසි අවශ්‍යතාවලට විසඳුම් ලබා දීම සඳහා ගෝලීය මට්ටමේ වැඩපිළිවෙළක් මේ වන විටත් දියත් කොට තිබේ. ගෝලීය මට්ටමේ වැඩපිළිවෙළේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ මිලියන 1-7ක් දරුවන්ගේ ජීවිත බේරාගෙන, ඔවුන්ට ආහාර, පෝෂණ, සෞඛ්‍ය රැකවරණ, පානීය ජලය, අධ්‍යාපනය හා මානසික සෞඛ්‍ය සේවා අතින් සහයෝගය ලබාදීමය.

ආසියාවේ බොහෝ රටවල් සමාජ ආර්ථික දත්ත ඒකරාශී කිරීම පටන් ගැනීමට බොහෝ කලකට පෙර ශ්‍රී ලංකාව එම කාර්ය පුරෝගාමීව කළ බව මෙහිදී කිව යුතුය. එය තවමත් ඒ ආකාරයෙන්ම සිදුවනවා විය යුතුය. එහෙත් තවමත් අපට කල් ඉකුත්වූ සමාජ ආර්ථික දත්ත දෙස බලාගෙන, අන්තර්ජාතික ආයතනවලට මාර්ගෝපදේශ දීමට හා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මාස ගණන් අවුරුදු ගණන් කල් මැරීමට සිදුව තිබේ. අප අවට ලෝකය වේගයෙන් ඉදිරියට ඇදී යන අතර සැබෑ යාවත්කාලීන දත්ත මත, ඔවුන්ට අධීක්‍ෂණය කිරීමට හා ක්‍රියාත්මකවීමට උපකාරී වේ.

යාවත්කාලීන වූ දත්ත නොමැති තත්ත්වයක් තුළ තමන්ගේම සමීක්‍ෂණ ඔස්සේ තොරතුරු ලබාගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීහු මානුෂීය වැඩපිළිවෙළ සම්බන්ධීකරණ කිරීම සඳහා වූ වාර්තාවක් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතා අර්බුදය සම්බන්ධයෙන් 2022 ජුනි 9 වැනිදා නිකුත් කළහ. එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් කරුණුවලට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මිලියන 5.7 ක් මිනිසුන් කාන්තාවන්, පිරිමි සහ ගැහැනු ළමයි (හෙවත් රටේ මුළු ජනගහනයෙන් හතරෙන් එකක් දෙනා) මේ වන විට හදිසි මානුෂීය සහයෝගයක් අවශ්‍යතාවෙන් පෙළෙති.

කොවිඩ් 19 වසංගතය නිසා ඇතිවූ ගැටලු සහ ඉන් අනතුරුව පැමිණි ආර්ථික අර්බුදය විසින් ශ්‍රී ලාංකීය ජනතාවට, රැකියා හා ආදායම් අහිමි කරමින් ප්‍රහාර එල්ල කෙරිණි. මෙම කාරණා ජනතාවගේ ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමේ හැකියාවට අහිතකර ලෙස බලපෑවේ, පසුගිය වසර දෙක තුළ ආහාර උද්ධමනය සියයට 75කින් වැඩි වීමත් සමඟය. සිදුවෙමින් පවතින ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අර්බුදයට දුගී ජනයා ගොදුරුවීම වඩාත් වැඩි වූයේය. එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ දුගී නිවැසියන් තමන්ගේ ආහාර පරිභෝජනය අඩුකර ගන්නා අතරම වේල මගහැරීමද වැඩි වන ආහාර සුරක්ෂිතතාව අහිමිවීමේ අර්බුදය නිසා සිදු කරන බවයි.

මිල ප්‍රතිචාර දක්වන්නේ හෙමිහිටය

මෙවැනි භයානක අධිඋද්ධමනයකට ශ්‍රී ලංකාව මුහුණපෑවේ ඇයිද යන්න බොහෝ දෙනකු අසන ප්‍රශ්නයකි. දැනට පවතින ඉහළ උද්ධමනයට හේතු සාධක වූ ප්‍රධාන කරුණු හතරක් දැක්වීම මට කළ හැකිය. එම එක් එක් සාධකයේ දායකත්වය වෙන් කොට හඳුනා ගැනීම සඳහා ඒවා ගැඹුරින් අධ්‍යයනය කිරීම මේ වන විට අරඹා තිබේ.

පළමුවැන්න දේශීය සැපයුම හිඟවීමය. දේශීය වශයෙන් එම ගැටලුව ඇති වුණේ පොහොර තහනම නිසා කෘෂිකාර්මික නිෂ්පාදනයත් ඵලදායිතාවත් පහත වැටීම නිසාය. පරිබාහිර වශයෙන් සැපයුම හිඟ වූයේ ආනයන නොකඩවා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය හිඟවීම නිසාය.

අප මීට පෙර සාකච්ඡා කළ පරිදි ඉන්ධන, ගෑස් සහ විදුලි බලය හිඟ වීම නිසා නිෂ්පාදනයටත් ප්‍රවාහනයටත් බාධා ඇති වූයෙන් සැපයුම් හිඟයත් උද්ධමනය වැඩිවීමත් දෙගුණ තෙගුණ වූයේය.

දෙවැනි කාරණය ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටීමයි. පසුගිය කාලයේ වාර්තා වූ පරිදි මහ බැංකුව විදේශ සංචිත සිඳී යන තුරුම බැංකුව විනිමය නිදහස් කරමින් විනිමය හුවමාරු අනුපාතිකය ස්ථාවරව තබාගන්නට මාන බැලුවේය. එය වෙළඳපොළ තුළ තීරණය වන්නට 2022 මාර්තුවේදී ඉඩ හල පසු මාස දෙකක් ඇතුළත රුපියලේ හුවමාරු අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 75 කට වඩා පහත වැටුණේය. 2020 සිට පසුගිය දෑ අවුරුද්ද තුළ එම අවප්‍රමාණ වීම සියයට 100කට ආසන්නය. මෙකී පෙර නොවූ විරූ විනිමය අනුපාතිකය අවප්‍රමාණ වීම සමඟ සියලුම ආනයනවල මිල ගණන් සාපේක්ෂ වශයෙන් ඉහළ යෑමට ලක්විය.

තුන්වැන්න ඊනියා මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලියයි. ‘මිල ගණන් ප්‍රතිචාර දක්වන්නේ හෙමිහිටය’ යනුවෙන් මූලික සාර්ව ආර්ථික විද්‍යා කියමනක් ඇත.

මෙයින් අදහස් වන්නේ මුදල් අච්චු ගැසීමේ කාර්ය හා එය උද්ධමනය බවට පරිවර්තනය වීම අතර කාල පරතරයක් පවතින බවයි. පසුගිය අවුරුදු දෙකහමාර පුරාම මහ බැංකුව රජයට රුපියල් බිලියන 2500 කට වඩා මුදල් ණයට දුන්නේය. එය මුදල් අච්චු ගැසීමේ ශුද්ධ වැඩිවීම ලෙස ගණන් ගැනේ. සමහර විට කාල පරතරයෙන් පසු මිල ප්‍රතිචාර දක්වන කාලය මෙය විය හැකිය. එය ඉදිරි කාලය තුළ ද නොකඩවා සිදුවීමට නියමිතය.

සිව්වැන්න ගෝලීය වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාමයි. අන්තර්ජාතික වශයෙන් 2021 පටන් ඉන්ධන හා ආහාර මිල වැඩි වන්නට ගත්තේ ලෝකයම උද්ධමන පීඩනයකට යටත් වූවා සේ ය. 2021 මැද කාලයේ පටන් එක්සත් ජනපදය යුරෝපා ප්‍රදේශ සහ එක්සත් රාජධානියේ පෙර නොවූ තරම් උද්ධමන වැඩිවීමක් අත්වින්දේය. එම උද්ධමන වේගය සියයට 10 තරමට ළංවිය. දශක දෙකක් පමණ තිස්සේ අවධමන පීඩනයකට ලක්ව තිබූ ජපානය සියයට 23 ක උද්ධමන වේගයක් අත් විඳිනු ලැබුවේය.

අරගලයේ ආර්ථික පිරිවැය

ශ්‍රී ලංකා ආර්ථිකය ආර්ථික අර්බුදය හමුවේ කබලෙන් ළිපට වැටෙද්දී දැනට පවතින මහජන විරෝධතාව හෙවත් අරගලයද හේතුවෙන් පැවති අර්බුදය ඇවිළී ගොස් එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන අර්බුදය ජනිත වූයේය. මාස තුනක් තිස්සේ පැවති මහජන විරෝධතා මතුවී ඉදිරියට ඇදීමට මූලික වූ ප්‍රධාන සාධකය ආර්ථික අර්බුදයයි. මේ වනවිට දේශපාලන ස්ථාවරභාවය දරුණු තත්ත්වයකට වැටී වර්තමාන ආර්ථික අර්බුදය වේගවත් වන ස්වරූපයක් දිස්වේ.

වර්තමාන දේශපාලන අස්ථාවරභාවයට විසඳුමක් ලැබීම මුලින් සිතූ තරමට වඩා අසීරු වන සෙයක් පෙනේ. ඇරත් නිසි කලට පෙර මැතිවරණ පැවැත්වීම පිළිබඳ සාකච්ඡා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ මෙන්ම බලාපොරොත්තු වූ ක්‍රමයේ වෙනස ඇති කිරීමටද අපේක්ෂා කළ කාලයට වඩා කල් ගත වනු ඇත. එම ප්‍රතිඵලද අවිනිශ්චිත සහගතය. මේ සියල්ල සමඟ ශ්‍රී ලංකාව මේ වන විට විනාශකාරී ආර්ථික සමාජීය සහ මානුෂීය අර්බුදයේ ගිලෙමින් පවතී.

මූලික ආර්ථික අර්බුදයෙන් දේශපාලන ප්‍රමුඛතා ඉවත යන හෙයින් අර්බුදයෙන් ගොඩඒමට ආර්ථික වැඩපිළිවෙළක් අනාගතයේ පේන තෙක් මානයක ඇතැයි නොපෙනේ. මා මෙහිදී අදහස් කරනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන උදෙසා සූදානම් වීම නොවේ. මා අදහස් කරන්නේ විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒමේ සෘජු වැඩසටහනකි.