සිංහල ජාතිය සහ ලංකාද්වීපය නිවුන්නුන්ගෙන් පැවත එන ජාතියක් හා දේශයක් බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා ප්‍රකාශ කර සිටී .
ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 22 දින සවස 2:22ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ලාල් කුමාර විසින් රචිත “නිවුන්නු” කෘතිය ජනගත කල අවස්ථාවේ ප්‍රධාන දෙසුම පවත්වමිනි .
“සිංහබාහු, සිංහ සීවලී විතරක් නෙවෙයි, ඔවුන්ගෙ දරුවොත් නිවුන්නු. විජය කුමාරයාත් නිවුන්නෙක්’ යයිද අතාවුදහෙට්ටි මහතා මෙහිදී පැවසීය .
කෘතිය ජනගත කිරීමේ උත්සවය , , ශ්‍රී ලංකා නිවුන් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අතර රුසියාව ප්‍රකාශකයෝ මෙහි ප්‍රකාශන කටයුතු සිදුකලෙය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය
මීට සෑහෙන කාලෙකට කලින් නුවර පෙරහැරේ අලි කුලප්පුවක් වෙනවා. පෙරහැර බලන්න ආපු පුංචි නිවුන් සහෝදරයන්ගෙන් එක්කෙනෙක් මග ඇරෙනවා. ඉතුරු වෙන කෙනා ලොකු වෙලා නැවක රස්සාවට යනවා. සිංගප්පූරු වරායෙ නැව නවත්තපු වෙලාවක ඔහු යනවා නගරයේ රස්තියාදුවක් ගහන්න, නැවේ වැඩ කරන තමන්ගෙ සගයෙකුත් එක්ක. එතකොට ගේකින් එළියට ආපු රුවැත්තියක්, බොහෝ කාලයක් තිස්සේ දැන හඳුනගෙන වගේ ඔහුට කතා කරනවා. ඔහු හිතන්නෙ තමන්ව සුද්ද කරන්න දාන සිංගප්පූරු ගැටයක් කියලා. ඒත් අර රුවැත්තිය ඔහුගෙ පුද්ගලික විස්තර – අම්මා තාත්තා ගැන පවා කියනවා ටක්කෙටම.
මේ රුවැත්තියගෙ අනියම් සම්බන්ධයක් තියෙනවා, සිංගප්පූරුවෙ ඉන්න විවාහක තරුණයෙක් එක්ක. ඒ තරුණයා කියලා පටලගෙන තමයි ඇය මෙයාට කතා කරන්නෙ.
පසුසෙ බැලින්නම් සිංගප්පූරුවෙ ඉන්න විවාහක තරුණයා තමයි, මෙයාග අර මග ඇරුණු අනික් නිවුන් සහෝදරයා. ඉතින් මේ ඉන්නෙ එයා කියලා හිතාගෙන තමයි රුවැත්තිය සිංගප්පූරුවට පළමු වතාවට පය ගහපු අනික් නිවුන් සහෝදරයට රැවටෙන්නෙ. නිවුන්නු නිසා එයයි, මෙයයි මාරුවෙලා..!
මෙන්න මේ පටලැවිල්ල යන දුර දිග තමයි, ලූෂන් බුලත්සිංහල නිර්මාණය කළ තාරාවෝ ඉගිළෙති නාට්‍යයට වස්තු විෂය වෙන්නෙ. තාරාවෝ ඉගිලෙති නාට්‍යය ලූෂන් නිර්මාණය කළේ ප්ලෝටස් නම් වූ රෝම නාට්‍ය කරුවා ක්‍රිස්තු පූර්ව 254 – 184 කාලයේදී රචනා කළ මිනැක්මුයි සහෝදරයෝ නැමති නාට්‍යය අනුසාරයෙන්. මිනැක්මුයි සහෝදරයෝ කියලා කියන්නෙ නිවුන් සහෝදරයන්ට.
ඉතින් මේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ රුවැත්තිය, ලොලිටා, අර එක නිවුන් සහෝදරයෙක්, තිස්ස ගෙදරය වැද්දා ගන්නවා. අනික් නිවුන් සහෝදරයා විජයත්, ටික වේලාවකින් එනවා. දැන් මාර පටලැවිල්ලක්. දැන් තවත් අය බොහෝ දෙනෙක් මේ පටලැවිල්ලට පැටලිලා.
ලොලිටා කියනවා මෙන්න මෙහෙම – ”මගෙ ගවුමකුයි, මාලෙකුයි අන්තර්ධාන වුණා.”
එතකොට අර සිංගප්පූරුවේ ජීවිත්වෙන නිවුන් සහොඳරයාගේ බිරිඳ කියනවා, “අන්තර්ධාන වුණු මාලෙකුයි, ගවුමකුයි මට නම් ආයෙත් ලැබුණා.”
මේ පටලැවිල්ල ලිහන්න මැදිහත්වෙන්නෙ, අර නැවේ වැඩ කරන සගයා; ජින්නා. ජින්නා ලොලිටා දිහාට හැරිලා ප්‍රශ්න කරනවා මෙන්න මෙහෙම. තමන් හිතනවාද ඒ සිදුවීම් දෙකත් මේ දෙන්නත් අතර සම්බන්ධයක් තියෙනවා කියලා?”
ලොලිටා උත්තර දෙනවා. ”ඔව්, මේ දෙන්නාගන් එක්කෙනෙක් මට ඒ මාලෙයි, ගවුමයි ගෙනත් දුන්නු ආදරවන්තයා. එක්කෙනෙක් මගෙන් පිනට කාලා, ඒ දෙකත් හොරකම් කරගෙන ගිය එක්කෙනා.”
ඒ පාර පින්නා ලොලිටාගෙන් අහනවා මෙහෙම. ගෙනත් දුන්නෙ කවුද, හොරකන් කරගෙන ගියෙ කවුද කියලා තමාට අඳුනගන්න පුළුවන්ද?”
දන්නවාද ඒ ප්‍රශ්නට ලොලිටා දුන්නු උත්තරේ?
”දෙන්නම එකම දවසෙ අපේ ගෙදර ආවොත් නම් අඳුනාගන්න පුළුවන්!!!” සමරූපී නිවුන් සහෝදරයන් දෙන්නෙක් වුණත්, එක වෙලාවෙ ගෙදර ආවොත්, ගැහැණියකට දෙන්නව වෙන් කරලා අඳුනගන්න පුළුවන් කියන කතාව ඇතුළෙ ලොකු ගැඹුරක් තියෙනවා. කොහොම වුණත්, ඒ වගේ ටිකක් දුර දිග යන පටලැවිලි මේ සභාවේ ඉන්න නිවුන් සහෝදර සහෝදරියන්ට වෙලා නැතිව ඇති කියලා මම හිතනවා.
නිවුන්නු ගැන ලෝකය පුරා විවිධ නිර්මාණ බිහිවෙලා තියෙනවා. සාහිත්‍ය කෘති. නාට්‍ය සහ චිත්‍රපට ඒ අතර වෙනවා. ලංකාවෙ සාහිත්‍ය කෘතීන් අතර නම් නිවුන්නු ගැන ලියැවුණු නිර්මාණ නැති තරම්. සුමිත්‍ර රාහුබද්ධගේ අත අත නෑර කෘතියට නිවුන්නු පාදක වුණත්, එතැන ඉන්නෙ ශරීරයෙන් වෙන් කරන්න බැරි දෙබිඩි නිවුන්නු දෙන්නෙක්.
හැබැයි නිවුන්නු ගැන චිත්‍රපට කීපයක් ලංකාවෙ නිර්මාණය වුණා. එකක් එම් මස්තාන් අධ්‍යක්‍ෂණය කළ ආත්ම පූජා. ගාමිණී ෆොන්සේකා තමයි, නිවුන්නු ලෙස ද්විත්ව චරිත නිරූපණය කරන්නෙ. රොබින් තම්පෝ අධක්‍ෂණය කළ සැඟවුණු සෙවනැල්ල. නිවුන් චරිත නිරූපණය විජිත මල්ලිකා. යසපාලිත නානාක්යකාර අධ්‍යක්‍ෂණය කළ චායා මායා. නිවුන් චරිත නිරූපණය කළේ දිල්හානි අබේවර්ධන. එම් එස් ආනන්දන් අධ්‍යක්‍ෂණය කළ ප්‍රවේශම් වෙන්න සහ චණ්ඩි ශ්‍යාමා චිත්‍රපටවල ශ්‍යාමා ආනන්දන් නිවුන් චරිත නිරූපණය කළා. හැබැයි මේ හැම චිතපටයකම නිවුන් චරිත නිරූපණය කළේ එකම නලුවා හෝ නිලිය. ඒන් ලලිත් රත්නායක අධ්‍යක්‍ෂණය කළ විෂම භාග චිත්‍රපටයේ ඇත්තටම රඟපෑවේ නිවුන්නු. ඒ දෙන්නා ගැන වැඩි විස්තර සරත් ලාල්ගෙ මේ පොතේ ඇතුළත් වෙනවා.
ලෝක සිනමාවේ නිවුන්නු පසුබිම් කරගත් චිත්‍රපට සීය ගණණක් බිහිවෙලා නියෙනවා. ප්‍රේක්‍ෂක මෙන්ම විචාරක සම්මානයට පාත්‍රවෙච්චි කෘතීන්. ඒ වගේම නිවුන්නුන් වෙනුවෙන් ද්විත්ව චරිත නිරූපණය කරලා ප්‍රශංසාවට මෙන්ම විචාරක අවධානයට පාත්‍ර වෙච්චි නලු නිළියොත් ඉන්නවා
ගායක නිවුන්නු, සංගීතඥ නිවුන්නු වගේම නිවුන් සංගීත කණ්ඩායම් ගැනත් සඳහන් වෙනවා. නිවුන් සිත්තරුන් ඉන්නවා. නිවුන් සිත්තරු වෙන වෙනම තම තන්ගෙ නිර්මාණ කටයුතුවල යෙදෙනවා. මේ අය අතරින් එකට නිර්මාණ කටයුතුවල යෙදෙන නිවුන් සිත්තරු දුලබයි. දැනට වසර හතළිහක පමණ කාලයක් තිස්සේ මා දැන හඳුනන සුමතිපාල සහ ජෝතිපාල එකට නිර්මාණ කටයුතුවල යෙදෙන නිවුන් සහෝදරයන් දෙපලක්.
නිවුන්නුන්ගෙ ජීවිත අත්දැකීම්, සමාජ හැසිරීම් ගැන ලෝකයේ අනික් අයට දැනගන්න තියෙන අවස්ථාව දැන් බොහෝ සෙයින් වැඩිවෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි සමාජ මාධ්‍ය ජාලාවන්. වර්තමානයේ ලෝකය පුරා ඉන්නා බොහෝ නිවුන්නු සමාජ මාධ්‍යජාලා ඔස්සේ තම තමන්ගෙ ජීවිත අත්දැකීම් ලෝකයත් එක්ක බෙදා හදා ගැනීම සිරිතක් වෙලා තියෙනවා. ෆෙස් බුක්, ට්විටර්, ටික්ටොක්, යූ ටියුබ් ආදිය උපයෝගී කරගෙන මේ අය විවිධාකාරයේ ආකර්ශනීය ක්‍රියාවන්හි නිරත වෙනවා.
අපේ රටේ ෆෙස්බුක් පාවිච්චි කරන අය බොහෝ වෙලාවට එහි නිර්මාතෘ සකර්බර්ක්ට ඔච්චම් කරන වෙලාවල් අපි දැකලා තියෙනවා. ”සකර්බර්ග් ගේ දහම් පාසැල මාව සතියකට බ්ලොක් කරලා තිබුණ නිසා, පහුගිය ටිකේ මුහුණ පොතට එන්න බැරිවුණා” වගේ කොමෙන්ට්ස් අපිට නිතර නිතර දකින්න ලැබෙනවා. හැබැයි ඔහොම ඔච්චම් කර කර ඉන්නෙ නැතුව සකර්බර්ග්ගේ ෆෙස්බුක් සමාගමෙන් වන්දි ලබා ගත්තු දෙන්නෙක් ඉන්නවා. විශේෂත්වය තමයි, ඒ දෙන්නා නිවුන්නු. වින්කුවොස් නිවුන් සහෝදරයෝ.
මේ දෙන්නාගෙන් කෙනෙක් කැමරන් වින්කුල්වෙස්. අනික් කෙනා ටේලර් වින්කුලවොස්. කැමරන් තමයි, ක්‍රිස්ටොකරන්සි සහ බිට්කොයින් නිර්මාතෘ, ඔවුන් දෙදෙනා කොන්ටැක්ට් යූ නමින් සමාජමාධ්‍ය ජාලයක් ආරම්භ කරනනවා. ඊට කලෙකට පසු සකර්බර්ග් ෆෙස්බුක් පටන් ගන්නවා. නිවුන්නු සකර්බර්ගට නඩු දානවා. තමන්ගෙ කොන්ටැක්ට් යූ සංකල්පය හොරාට අරන් ෆෙස්බුක් පටන් ගත්තා කියලා. නඩුව අතරමගදී දෙගොල්ලො සමාදාන වෙනවා. සකර්බර්ග් වින්කුවොස් සහෝදරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් ගෙවනවා, මේ අතරමැදි සමාදානය වෙනුවෙන්.
ඉතින් විශේෂයෙන්ම මේ සභාවෙ ඉන්නා නිවුන්නු නොවන අයගෙන් මම ඉල්ලන්නෙ, නිවුන්නු ආශ්‍රය කරද්දි ටිකක් පරිස්සමට ආශ්‍රය කරන්න. ලේසි පාසු අය නෙවෙයි. සකර්බර්ගර්ටත් නඩු දාලා ඩොලර් මිලියන 65 ක් ගන්න එසේ මෙසේ කෙනෙකුට බෑ. ඒත් ඒ හපන්කම කරන්න පුළුවන් වුණේ නිවුන්නුන්ට.
අද දොරට වඩින නිවුන්නු කෘතිය රචනා කරන සරත් ලාල් කුමාරත් නිවුන්නෙක්. ඔහුගෙ අනෙක් නිවුන් සොහායුරා සමන් ලාල් කුමාර. මේ සමන් ලාල් තමයි මගේ මිත්‍රයා. සරත්ව දැන හඳුනාගන්න අවුරුදු ගණනාවකට කලින් තමයි මට සමන් මුණ ගැහෙන්නෙ. හැබැයි එයාට, සමරූපී නිවුන්නෙක් ඉන්නා බව මම දැන ගත්තෙ පසු කාලෙක සරත්ව මුණ ගැහුණාම. ඒ වෙනකොට සමන් විදේශගතවෙලා.
සරත් ලියූ මේ කෘතියේ නිවුන්නු ගැන, ඉතා රසවත් තොරතුරු වගේම විද්‍යාත්මක කරුණු ගණනාවකුත් ඇතුළත් වෙනවා. මේ වගේ කෘතියක් මීට කලින් සිංහලයෙන් පළවී ඇති බවක් නම් මගේ මතකයේ නෑ. ඒ නිසා සරත් මේ කළේ සිංහල සාහිත්‍යයට අඩුවක්ව තිබූ විෂය ක්‍ෂේත්‍රයක් හඳුන්වාදීමක්. මේ පොත විශේෂයක් වෙන්න ඒකත් එක හේතුවක්.
නිවුන්නු බිහිවීමේ ජීව විද්‍යාත්මක පදනම, සමාජයේ නිවුන්නුන්ට ඇති ප්‍රමුඛතාවය, නිවුන්නුන්ගේ අරුම පුදුම කතා, පොලිස්පතිත් රැවටුණු පොලීසියේ නිවුන්නු, පැවිදි නිවුන්නු, ගිවුන්නුන්ගේ සාහසික කතා, ජනපති හා අගමැති වූ පෝලන්තයේ නිවුන් සහෝදරයන්, ලංකාවේ නිවුන් අගමැති, තම නිවුන් සොයුරිය වෙනුවෙන් නොසිතූ කැපවීමක් කළ වාසන ආදී මාතෘකා 36 ක් ඔස්සේ නිවුන්නු කෘතිය මගින් පාඨකයාට කදිම තොරතුරු ගණනාවක් ගෙන එන්නට සරත් සමත් වෙලා තියෙනවා. මේ කෘතිය ලියා ඇත්තේද පාඨකයා ඇඳ බැඳ තබා ගන්නා අයුරිකින්. බස හැසිරවීම ආකර්ශනීයයි.
පොත කියවනකොට මම මේ කියූ දේ ඔබට තව තවත් තහවුරු වේවි.
පොතක් එළි දක්වන අවස්ථාවෙ ඒ පොත ගැන ඕනෑවට වඩා කතා කිරීම සුදුසු නෑ කියලායි මට හිතෙන්නෙ. පොතේ තියෙන දේවල් ගැන ඕනෑවට වඩා කරුණු හෙළිදරව් කළාම, කියවන්න තියෙන උනන්දුව දියාරු වෙලා යන්න පුළුවන්. ඒ නිසා මම පොතෙන් කොටස් ඕනෑවට වඩා උපුටා දක්වන්න යන්නෙ නෑ. ඒත් පොත ගැන මගේ මතය මම කියන්නම්.
පොත කියෙව්වාට පස්සෙ මගේ හිතේ පැල පදියම් වුණු, උනන්දුව, කුතුහලය නිසාම මේ මාතෘකාව ඔස්සේ ලියැවුණු, වෙනත් රටවල පළ වූ පොත්, පුවත් පත් කියවන්න මට ආසාවක් උනන්දුවක් ඇතිවුණා. පුද්ගලික පුස්තකාල වගේම, ඩිජිටල් පුස්තකාල පරිහරණය කරමින් මම ඒ පත පොත කියෙව්වා.
පොතක් කියෙව්වාම, ඒ පොතෙන් ඇතිවෙන උත්තේජනය ඔස්සේ ඒ මාතෘකාව පදනම් කරගෙන ලියැවුණු වෙනත් ප්‍රකාශන සොයා යන්න පෙළැඹවීමක් ඇතිවෙනවා නම්, ඒකෙන් පිළිබිඹුවන එක් දෙයක් තියෙනවා. අර මුලින් කියැවූ පොත සාර්ථකයි. එවැනි සාර්ථක කෘතියක් ඔස්සේ තමයි, අපිට එතැනින් ඉදිරියට යන්න පෙළැඹවීමක් ඇතිවෙන්නෙ.
දැන් මම මේ නොකියා කියන දේ මේ සභාවෙ ඉන්න නිවුන්නුන්ට වගේම, නිවුන්නු නොවන්නන්ටත් තේරෙනවා ඇති. මම මේ නොකියා කිව්වෙ සරත් ගෙ පොත සාර්ථකයි කියන එක. හැබැයි මම කිව්ව පමණින් පිළිගන්න එපා. කියවා බලන්න. එතකොට ඔබටත් ඒ බව වැටහේවි.
පොත සම්බන්ධයෙන් තවත් කරුණක් අවධාරණය කරන්න මම කැමතියි. මෙවැනි පොතක් සංග්‍රහ කිරීම ලේසිපාසු කාර්යයක් නෙවෙයි. මෙවැනි පොතක් ලිවීම සඳහා නොසෑහෙන පර්යේෂණ කාරියක නිතරවෙන්න සිද්ධ වෙනවා. වෙහෙසීමෙන් හා කැපවීමෙන් තොරතුරු එක්රැස් කරන්න සිද්ධ වෙනවා. දවසකින් දෙකකින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. උඩින් පල්ලෙන් දමලා ගහන්න පුළුවන් දේකුත් නෙවෙයි. සෑහෙන කාලයක් තිස්සේ හෙමින් හෙමින්, සැලකිල්ලෙන් කළ යුතු ව්‍යායාමයක්. ඉතින් එවැනි කාර්යයක් ඉතා හොඳින් සිදු කිරීම ගැන අපි සියළු දෙනොම සරත් ලාල්ට අපේ ප්‍රශංසාව පළ කළ යුතුයි.
මං දන්නෙ නෑ අද මේ උත්සවය අන්තර්ජාල පහසුකම් මගින් හරි විදේශගතව ඉන්න සරත්ගේ නිවුන් සොහොයුරු සමන්ට දකින්න, අහන්න ලැබෙනවාද කියලා. මොකද මගේ මිත්‍රයා එයා නිසා, මට තියෙනවා අන්තිම පුද්ගලික ප්‍රශ්නයක් එයාගෙන් අහන්න. දැන් ඔබ කියයි, ඉතින් සමන් නැත්නම්, ඒ ප්‍රශ්න සරන්ගෙන් අහන්න පුළුවන්නේ කියලා. අහන්න පුළුවන්. අහන්න බැරිකමක් නෑ. ඒත් මට ෂුවර් එකක් නෑ සරතා ඕකට අවංකවම ඇත්ත කියයිද කියලා. සමනා නම් මගේ යාලුවා නිසා මං දන්නවා, මට බොරුවක් කියන්නෙ නෑ.
කොහොම වුණත් මම ප්‍රසිද්ධියෙම ඔය ප්‍රශ්න අහන්නම්කො. සරතුයි, සමනුයි ඇරෙන්න තවත් නිවුන්නු මගෙ කතාව අහන් ඉන්නවානේ.
අර මම කලින් කියූ මිනැක්මුයි සහෝදරයෝ නැත්නම් තාරාවේ ඉගිලෙති නාටකයේ සහෝදරයන්ට වුණා වගේ පටලැවිල්ලක්, සමන්ටයි, සරත්යි සිද්ධ වෙලා නැද්ද? එකම රුවැත්තියක් සම්බන්ධ පටලැවිල්ලක්. මාරුවීමක්.
මම ඒ ගැන වැඩි දුර හාර අවුස්සන්න යන්නෙ නෑ. අනික ඕක දැනගත්තා කියලා මට ඇති වැඩකුත් නෑ. මොකද ඔන්න මටත් නිවුන් සහෝදරයෙක් හිටියා නම්, ඔය වගේ එකක් ට්‍රයි කරලා බලන්නවත් තිබුණා.
ලොලිටා නම් රුවැත්තිය නිවුන් සහෝදරයන් දෙන්නෙක් එක්ක, ආදර සම්බන්ධකම් විතරක් නොවයි, ශාරීරික සම්බන්ධකමකුත් පවත්වපු හැටි ගැන සඳහන්වෙන්නෙ පැරණි රෝම නාට්‍යයක. ඒ සම්බන්ධකම ඇතිවෙන්නෙ දැනුවත්ව නෙවෙයි.
ඒත් දැනුවත්ව, ප්‍රසිද්ධියේම ඒ වගේ සම්බන්ධකමක් ගොඩ නගා ගත්තු නිවුන්නු දෙන්නෙක් ගැන ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසෙ මුලු ලෝකෙම අවධානය යොමු වුණා. මේ නිවුන්නු දෙන්නා වාසය කරන්නෙ ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවර.
ලෝකේ වඩාත්ම සමරූපී නිවුන්නු ලෙස සැලකෙන්නෙත් මේ දෙන්නා. එක්කෙනෙක් විදියට හිතන, එක්කෙනෙක් විදියට කල්පනා කරන, එක්කෙනෙක් විදියට හැඟීම් දැනෙන සහෝදරියන් දෙන්නෙක්. ඈන් ඩිසින්ක් සහ ලුසී ඩිසින්ක්.
ඔවුන් කන්නෙ එකට, බොන්නෙ එකට, අදින්නෙ එකට, නාන්නෙ එකට, නිදාගන්නෙ එකට. ඉතින් විවාහයකින් පස්සෙ මේ දේවල් වෙනම කරන්න හරි, වෙනම ජීවිතයක් ගත කරන්න හරි ඈන්ටත් ලුසීටත් බැරි නිසා, ඔවුන් තීරණයක් ගන්නවා. එකම කෙනෙකුට ආදරය කරන්න. ඒ ආදරවන්තයාව විවාහ කරගන්න. එකම ස්වාමිපුරුෂයෙකුට දාව දරුවො හදන්න. කාගෙ කුසින් දරුවො බිහිවුණත්,ඒ අය තමන්ගෙම දරුවන් ලෙස සලකන්න.
ඈන් සහ ලුසී මෙන්න මෙහෙම කියනවා.
“අපි කෑම බෙදා හදා ගන්නවා. අපි බීම බෙදා හදා ගන්නවා. අපි එකම ගෙදර බෙදා හදා ගන්නවා. අපි ඇඳුම් බෙදා හදා ගන්නවා. අපි එකම ඇඳ බෙදා හදා ගන්නවා. ඉතින් අපි එකම ආදරවන්තයෙකුත් බෙදා හදා ගන්නවා. මේ වෙනකල් අපි අතර කිසි ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ. ඒ නිසා අපි තීරණයක් අරන් ඉවරයි. අපි එකම ස්වාමිපුරුෂයෙක් බෙදා හදා ගන්නවා. අපේ දරුවො බෙදා හදා ගන්නවා.”
ඈන් සහ ලුසී කරන්න යන්නෙ අපූරු වැඩක් නේද? මේ වගේ අපූරු දුලබ අවස්ථාවක් මෑත ඉතිහාසයේ වාර්තා වෙලා නෑ.
එක් පුරුෂයෙකුට ප්‍රේම කරන කාන්තාවන් දෙදෙනෙක් අතර, ඊරිසියාවක් මතුවෙන්න බැරිද? හීන් ඊරිසියාවක්. මේ ගැන මාධ්‍යවේදියෙක් ඈන් සහ ලුසීගෙන් ඇහුවා. ඔවුන් කියන්නෙ කවදාවත් ඔවුන් දෙදෙනා අතර ඊරිසියාවක් ඇතිවෙන්නෙ නෑ කියලායි.
”අපි දෙන්නා දෙන්නෙක් නෙවෙයි. එක්කෙනෙක්. අපි හිතන්නෙ එකට. ඉතින් කොහොමද ඊරිසියාවක් ඇතිවෙන්නෙ. ඔවුන් කියනවා.
ඈන් සහ ලුසී ගෙ පෙම්වතා බෙන් බර්න්. විදුලි කාර්මික ශිල්පියෙක්. ඔහුත් මේ නිවුන් සොහොයුරින් දෙදෙනාගෙ සිතුම් පැතුම් හොඳින් තේරුම් ගෙන ඉන්නෙ. ඒත් එකම ගති ගුණ, හැඩරුව තිබුණා වුණත්, කෙල්ලො දෙන්නෙකුට එකවර ආදරය කරන එක ලේසි පාසු වැඩක් නොවන බව බෙන් දන්නවා. බිරින්දෑවරු දෙන්නෙක් එක්ක ජීවිතයක් ගතකරන එකත් එසේ මෙසේ වැඩක් නොවන විත්තියත් බෙන් දන්නවා. ඒත් ඔවුන් තිදෙනා අතර ආදර බැඳීම ඒ සේරටම වඩා බලවත්.
හැබැයි ඔහුගෙ සමහර යාලුවො නම් ඔච්චම් කරන නක්කලේ දාන වෙලාවල් නැතුවා නෙවෙයි.
‘අපි මේ එක කසාදයක් කරගෙන අමාරුවෙ වැටිලා ඉන්න එකේ, උඹ කසාද දෙකක් කරගෙන කොහෙන් කෙළවර වෙයිද දන්නෑ. අනිවා. උඹට නියමෙටම කරන්ට් වදින්නෙ එතකොට තමයි.‘
සහෝදරයන් වුණත්, සහෝදරියන් වුණත් නිවුන්නු දෙදෙනෙක් අතර තියෙන දැඩි සම්බන්ධයට ඉතා බරපතල උදාහරණයක් තමයි, මේ ඇනා, ලුසී සහ බෙන්ගෙ කතාව. මෙහෙම සම්මතයට පිටින් ගිය අවස්ථා අතීතේ සිද්ධවෙලා ඇති. වර්තමානයේ සිද්ධවෙනවාත් ඇති. අනාගතේදිත් සිද්ධ වේවි.
බොහෝ අවස්ථාවල අප්‍රසිද්ධියේ වුණු දේත් ඇති. කොහොම වුණත් මේ නිවුන් සහෝදර සහෝදරයින් පදනම් කරගත් කතා, කලා නිර්මාණ ඉතිහාසය පුරා අපට දකින්න, අහන්න තියෙනවා. අපේ ඉතිහාසයේ එන යසලාලක තිස්ස රජ්ජුරුවන්ගෙයි, සුබ කියන දොරටුපාලයගෙයි කතාව ගැන හිතන්න. මට නම් හිතෙන්නෙ ඒ දෙන්නා නිවුන්නු කියලායි.
රජ බිසවට රජ කමට උරුම කියන්න පිරිමි දරුවෙක් නැති අවස්ථාවල, තමන්ට ලැබුණු දරුවා මාරු කරපු අවස්ථාවන් ඕනෑ තරම් තියෙනවා. ඉතින් තමන්ට ලැබුණු ගෑණු දරුවා, ඒ කාලෙදිම රජ වාසල සේවය කළ දාසියකට ලැබුණු නිවුන් පිරිමි දරුවන් දෙදෙනාගෙන් කෙනෙක් සමග මාරු කරගත්තා වෙන් බැරිද. රජ පවුල්වල වෙන දේවල්වල හැටියට එහෙම වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ඉතින් තමන් රජවාසලේ, මුරකාර රස්සාව කරද්දි, තමන්ගෙම සහෝදරයා සිංහාසනේ ඉඳගෙන සැප විදින එකගැන සුබට දුකක්, වේදනාවක් ඇති වෙන්න බැරිද? ඊරිසියාවක්.ඉ
කොහොම වුණත්, මෙතනිනුත් මතුවෙන ප්‍රශ්නයක් තියෙනවා. නිවුන්නු අතර ඊරිසියා, වෛර ඇතිවෙනවාද කියන එක. එකටම හැදුණු නිවුන්නු අතර එහෙම ගැටුම් ඇති වෙන අවස්ථා අඩු ඇති. මමත් මේ ගැන හුඟක් කරණු හෙව්වා. මේ දේශනය මට බාර දුන්නු දවසෙ ඉඳළාම ලංකාවෙත්, විදේශයන්හිත් ඉන්න මං දන්න අඳුනන නිවුන්නුන්ට කතා කරලා ඔය ගැන ඇහුවා. ඒ හැමෝම කිව්වෙ, තමන්ගෙ නිවුන් සහෝදරයා හෝ සහෝදරිය සම්බන්ධයෙන් ඊරිසියාවක්, වෛරයක් ඇතිවෙලා නෑ කියලා. මං මේ කියන්නෙ ඔය පොඩි පොඩි සිල්ලර වලි ගැන නෙවෙයි. සහෝදරකම් නැතිවෙන විදියෙ ඊරිසියා, වෛර ගැන. ඔබට ඊට වඩා වෙනස් අත්දැකීම් තියෙනවා නම්, ඔබ ඊට වඩා වෙනස් අවස්ථා ගැන දන්නවා නම් මට කියන්න.
විශේෂයෙන්ම ප්‍රේමය, ආදරය, ලිංගිකත්වය වගේ විෂයයන් සම්බන්ධයෙන්, නිවුන්නු තුළ වෙනස් හැඟීම්, වෙනස් ආකල්ප ඇතිවෙන්න පුළුවන්ද?. කලා නිර්මාණ රස විඳීම සන්ධයෙනුත් එහෙම වෙන්න පුළුවන්ද? මේ සභාවේ ඉන්න එක් නිවුන්නෙකුට මගේ කතාව රසවත් වෙද්දි තවත් නිවුන්නෙකුට මේ කතාව නීරස වෙන්න බැරිද?
අපි තවත් විදියට ඔය ප්‍රශ්න මාලාව සරළ කරගමුකො. දැන් මේ හැන්දෑවෙ ප්‍රධාන චරිතය සරත් ලාල් කුමාර ඔහුගෙ පොතේ මෙන්න මෙහෙම සඳහන් කරනවා, ඔහුත් ඔහුගේ නිවුන් සොහොයුරු සමන් ලාල් කුමාරත් ගැන. 18 වෙනි පිටුව.
“අපි දෙන්නාම ගමේ පාසලේ පාථමික අධ්‍යාපනය ලැබුවෙ. දන්න කියන වස වෙනකොට මුළු පන්තියම බය කරගෙන තමයි හිටියෙ. කොයි දේටත් කොල්ලෙක්ට ගහන්න බය නෑ. ඇයි දෙන්නෙක් ඉන්නවනේ. මෙය සමහර වෙලාවට පාසැලට ලොකු කරදරයක් වුණා. මම කොල්ලෙක්ට ගහලා, බේරෙන්න කියනවා, අයියා වෙන්න ඇති කියලා. අයියා කියනවා මම නෙවෙයි, මල්ලි වෙන්න ඇති කියලා. ගුටිකාපු කොල්ලටත් අපිව අඳුනගන්න බෑ. ගුරුවරුන්ට මාර ප්‍රශ්න..
එහෙම ලියන සරත් ලාල් මෙහෙමත් සඳහන් කරනවා.
‘කුඩා කාලයේදී නිවුන්නුන්ට බරපතල ප්‍රශ්න ඇති නොවේ. එහෙත් ඔවුන් වයසින් වැඩෙත්ම පාසැලේදී, රැකියා ස්ථානයේදී මෙන්ම සමහර බොහෝ අවස්ථාවලදී නෑදෑයින්, දෙදෙනාගේ මිත්‍රයින්ට, විශේෂයෙන් ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තියට ගැටලු මතුවූ අවස්ථා තියෙනවා.
උධෘතය අවසන්.
දැන් මම මේ සභාවේ ඉන්න සමරූපී නිවුන්නුන්ගෙන් ප්‍රශ්න කීපයක් අහන්න කැමතියි. මේකට ප්‍රසිද්ධියේ උත්තර දෙන්න ඕනෑ නෑ. උත්තරයක් දෙන්න කැමති නම් පුද්ගලිකව මට කියන්න. ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ළඟට එක දවසක් හෝ, මොනයම්ම හෝ හේතුවකට ඔබේ නිවුන්නා යවන්න සිද්ධවෙලා තියෙනවාද? එහෙම යවපු අවස්ථාවක, නිවුන්නා ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට හිත බැfඳතැයි කියා කුකුසක් ඊරිසියාවක් යාන්තමට හරි හිතේ මතුවෙලා තියෙනවාද? එහෙමත් නැත්නම්, ඒකෙම අනික් පැත්ත, ඔබේ පෙම්තොට හෝ පෙම්තියට ඔබේ නිවුන්නා කෙරෙහි වැඩි ආකර්ශනයක් ඇති වෙතැයි කියා කුකුසක්, බියක් ඇතිවෙලා තියෙනවාද?
ඇත්තටම මම ප්‍රශ්න කරන්නෙ ආදරය වගේ සංවේදී හැඟීම් සම්බන්ධයෙන්, නිවුන්නුන් අතර යම් යම් අසමානතා, සැක සංකා, ඊරිසියාවෙන් ඇතිවෙලා නැද්ද කියන එක ගැනයි.
සරත් ගේ පොත කියෙව්වට පස්සෙ ඉන් ලැබුණු උත්තේජනය ඔස්සේ කරුනු හොයාගෙන යද්දි, තවත් මානුෂීය බෙදවාචකයක් ගැන මට දැනගන්න ලැබුණා. මේ සිද්ධි ගැන ගැඹුරින් කතා කෙරුණේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී, ළමුන් අරන් හදා ගැනීම සම්බන්ධ කරුණු පාර්ලිමේන්තු විවාදයකදී සාකච්ඡා කරන අවස්ථාවෙ. පවුල් දෙකක තරුණයෙක් සහ තරුණියක් පෙමින් බැfඳනවා. ඔවුන් විවාහ වෙනවා. හැබැයි විවාහ වෙලා ටික කාලයක් යද්දි ඇති වුණු යම් යම් සැක සංකා නිසා ඔවුන් දෙන්නා තම තමන් ගැන හොයන්න පටන් ගන්නවා. බලද්දි ඔවුන් නිවුන්නු. නිවුන් සහෝදරයා සහ සහෝදරිය. උපතේදීම ඔවුන් වෙනත් පවුල් දෙකකට හදා ගන්න දීලා. හැබැයි ජීවිතේ කිසි විටෙක, ඔවුන් නිවුන්නු කියලා දැනුවත් කරලා නෑ. අන්තිමේ මේ සියළු කරුණු හෙළි වුණාම ඔවුන් නීතියේ පිළිසරණ පතනවා. ප්‍රේමවන්තයෝ දෙන්නෙක්. විවාපත් වූ යුවලක්. තමන් එකම පවුලක සහෝදර සහෝදරින් කියලා දැනගත්තාට පස්සෙ ඔවුන් මෙතෙක් ගොඩ නැගූ ආදරයට, ජීවිතයට මොකද වෙන්නෙ එකට ඉන්නත් බෑ. ඒත් විවාහක යුවලක් වෙන් වීමේ සාම්ප්‍රදායික නීති රීති කිසිවක් ඔවුන්ට අදාළ වෙන්නෙත් නෑ. එකිනෙකා වංචාවක් කරලා නෑ. ද්වේශ සහගත ලෙස අත් හැරලා ගිහින් නෑ. අඩන්තේට්ටම් කරලා නෑ. වෙනත් සම්බන්ධතා ගොඩ නගාගෙන නෑ. එතකොට නීති අනුව කොහොමද දික්කසාදයක් දෙන්නෙ?
අන්තිමේදී එංගලන්ත අධිකරණය විශේෂිත කාරණා මත ඔවුන්ගේ විවාහය නෛතික නොවන බව ප්‍රකාශයට පත් කරනනවා. ඔවුන් දෙන්නා වෙන් වෙනවා. ඒත් ඔවුන්ට එන සමාජයමය බලපෑම? එතැනින් එහාට සමාජයට මුහුණ දීමේදී ඇතිවෙන ප්‍රශ්න කවුද ඒකට වගකියන්නෙ.
මෙන්න මේ නිසා දරුවන් අරන් හදා ගැනීම සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ නීති රීති පවා සංශෝධනය කරන්නට මුල පිරුණා.
අන්න ඒ වගේ ඛේදවාචකයනුත් අපට ඉඳහිට අහන්න දකින්න ලැබෙනවා.
එකම පවුලක සහෝදර සහෝදරියන් අතර ඇති වන්නා වූ ශාරීරීක සම්බන්ධතා වර්තමාන සමාජයේ අපචාරයක්, ව්‍යාභිචාරයක් විදියටයි සැලකෙන්නෙ. ඉන්සෙස්ට්. අනවසරණීය මෛථුන්‍යක්. එත් අතීතයේ එය එසේ සැලකුණේ නෑ. ඉන්දුනීසියාවේ බාලි දූපතේ ප්‍රචලිත අතීත ජනකතා රාශියක මේ සිරිත වරදක් විදියට සැලකෙන්නේ නෑ. අතීත බාලි සම්ප්‍රදාය අනුව එකම පවුලක, නිවුන් සොහොයුරා සහ සොහොයුරිය විවාහ වීම සාමාන්‍ය දෙයක්. දකුණු ආසියානු පුරාණෝක්ති ගණනාවකත්, මේ නිවුන් විවාහයන් ගැන සඳහන්වෙනවා.
ග්‍රීක පුරාණෝක්ති සහ ග්‍රීක දේවකතා ගණනාවකත් මෙවැනි අවස්ථා සඳහන් වෙනවා. බිබලිස් සහ කුනොස් නම් නිවුන්නුන්ගෙ කතාව ඉන් එකක්.
ඈත කාලීන යුරෝපීය කෘතීන් කීපයකටත් මේ වගේ අත්දැකීම් පදනම් වෙලා තියෙනවා. 18 වැනි සියවසේ ඩෙලාරිවියර් මැරේ නම් යුරෝපීය ලේඛකයා ද නිව් ඇටලැන්ට්ස් නමින් කෘතික් ප්‍රකාශයට පත් කළා. ඒ පොතේ සම්පූර්ණ නම මම කියන්නම්. එතකොට පොතේ අන්තර්ගතය ගැන අදහසක් ගන්න පුළුවන්. : ීැජරුඑ ඵැපදසරි ්බා ඵ්බබැරි දf ීැඩැර්ක ඡැරිදබි දf ූම්කසඑහ, දf ඉදඑය ීැංැි, ත්‍රදප ඔයැ භැඅ ්ඒක්බඑසි මේ රහස් මතක සහ පුරුදු අතරට පොලිඩෝ සහ යුරේනියා නම් නිවුන් සහෝදර සහෝදරියන්ගෙ අත්දැකීම් ඇතුළත් වෙලා තියෙනවා.
හැබැයි 1983 අවුරුද්දෙ අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලූවර්වල් සරසවියේ මනෝවිද්‍යා අංශාධිපති රේ එච් බිර් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කරනවා, මෙන්න මේ වගේ ව්‍යාභිචාරයන් පදනම් කරගෙන. ඒ පර්යේෂණයෙන් මතුවන ඉතා වැදගත් කරුණක් තියෙනවා. එනම්, වැඩිවිය පත් නිවුන්නුන් අතර, සමලිංගික හෝ ද්විලිංගික හෝ ලිංගික සබඳතාවයන් ඇතිවෙන්නේම නැති තරම් කියලා. ඔවුන් එකිනෙකා අතර ලිංගික ආකර්ශනයන් ඇතිවෙන්නේම නැති තරම් කියලා. එහෙම ඇතිවෙනවා නම් ඒක අතිශය අස්වාභාවික සහ දුලබ අවස්ථාවක් බවත්, එවැනි සිද්ධි කිසවක් තමන්ගේ පර්යේෂණ පරාසයට හසු නොවුණු බවත් බික්ස්ටර් සිය පත්‍රිකාවේ සඳහන් කරනවා.
එවැනි අස්වාභාවික අවස්ථාවන් ලෝක ඉතිහාසයේ නැතුවාම නෙවෙයි. මම කලිනුත් කිව්වා වගේ එවරනි අවස්ථාවන් ගැන බොහෝවිට සඳහන්වෙන්නෙ සාහිත්‍යයේ. දේවකතාවල. මිත්‍යා කතාවල. පුරාණෝක්තිවල.
හැබැයි මේ සිදුවීම්, නැත්නම් මේ අවස්ථා පරම සත්‍යයේ සේ සලකා ලියූ අභිමානවත් ඉතිහාස ග්‍රන්ථද නැතුවා නෙවෙයි. ඒ ඉතිහාස කතා සත්‍යයේ සේ පිළිගන්නා ජාතීන් ඉන්නවා. එහෙම රටවල් තියෙනවා.
මම මගේ කතාව අවසන් කරන්නෙ අන්න එහෙම රටක් ගැන ඔබට කියලා.
මම මේ රටේ මහ ජාතිය නැත්නම් බහුතර ජනවර්ගය පැවත එන්නෙ නිවුන් සහෝදරයෙක් හා සහෝදරියක් අතර ඇති වූ විවාහයකින් උපන් දරුවන්ගෙන් කියලා තමයි පිළිගන්නෙ. ඒ රටේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ප්‍රධානතම ග්‍රන්ථයේ සඳහන් වෙන්නෙ එහෙමයි. මේ ග්‍රන්ථය ගැන ඒ රටේ ජනතාව, පාලකයන් දක්වන අසීමිත විශ්වාසය කෙතරම්ද යත්, වර්තමානය දක්වාම ඔවුන් ඒ කතාව ඉදිරියට ගෙන ගොස් තියෙනවා. වර්තමාන තොරතුරු ඇතුළත් කරමින් ඒ ඉතිහාස ග්‍රන්ථය දවසින් දවස අලුතෙන් ලියනවා.
තව දුරටත් ඔබේ කුතුහලය අවුස්සන්නෙ නැතිව, මම ඒ ගැන දැන් කියන්නම්. ඒ රට තමයි, ලංකාව. ඒ ජාතිය තමයි සිංහල ජාතිය. ඒ ග්‍රන්ථය තමයි මහාවංශය. මහාවංශයේ සඳහන් වෙන්නෙ මෙන්න මෙහෙමයි.
සිංහයා සමග සංවාසයෙන් එම රජ දුව දියණියක හා පුතකු වශයෙන් නිවුන් දරුවන් ප්‍රසූත කළාය. පුතුගේ අත්පා සිංහයකුගේ බඳුවූ හෙයින් සිංහබාහු යයිද, දියණිය සිංහ සීවලී යයිද නම් කළාය.
ඊට පස්සෙ ඔබ අප දන්නා පරිදි සිංහබාහු පියා මරනවා. ඔහුට වංග රාජ්‍ය බාර කෙරෙනවා. ඒත් ඔහු අම්මා, සුප්පා දේවිට ඒ රාජ්‍යය බාර දීලා යනවා ළාල රටට, අන්න ඒ විස්තරය මහාවංශයේ සඳහන් වෙන්නෙ මෙන්න මෙහෙමයි.
‘සිංහබාහු, සිංහ සීවලී කුමරියද රැගෙන සිය මව්බිමට ගියේය. එහි නගරයක් නිර්මාණය කළේය. එය සිංහපුර විය. වනයේ යොදුන් සියයක ගම්ද පිහිටුවීය. සිංහසීවලී මෙහෙසිය කරගෙන ළාල රට සිංහපුරයෙහි වාසය කළේය. කල්යාමේදී මෙහෙසිය සොළොස්වරක් පුතුන් දෙදෙනෙකු බැගින් ප්‍රසූත කළේය. වැඩිමහල් පුතු විජය නම් විය. දෙවැන්නා සුමිත්ය. සියලු පුත්තු දෙතිසක් වූහ. කලෙකින් විජය උප රජු ලෙස අභිෂේක ලැබුවේය.
දැන් එතකොට සිංහබාහු, සිංහ සීවලී විතරක් නෙවෙයි, ඔවුන්ගෙ දරුවොත් නිවුන්නු. විජය කුමාරයාත් නිවුන්නෙක්.
සුප්පා දේවී සිංහයෙකුට දාව නිවුන් දරුවන් බිහිකිරීම, ඒ නිවුන්නු කසාද බැඳීම, ඒ විවාහයෙන් අවස්ථා 16 කදී නිවුන් පුතුන් දෙදෙනා බැගින් දරුවන් තිස් දෙදෙනෙක් බිහිවීම කියන කතාව ඇතුලෙ තියෙන ඉන්සෙස්ට් නැත්නම්, ව්‍යාභිචාර පැත්ත අපි මෙහොතක් අමතක කරමු. ඊට වඩා දෙයක් තියෙනවා මෙතන හිතන්න.
මහාවංශය මුලින්ම ලේඛනගත කරන්නෙ ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ දී. අනුරාධපුර යුගයේදී. මහානාම නම් භික්ෂුවක් මේ කාරිය කළා කියලායි සඳහන් වෙන්නෙ. මේ ඓතිහාසික වංශ කතාව ලේඛනගත වෙන්නෙ මහා විහාරයීය භික්‍ෂුන්ගේ මූලිකත්වයෙන් හා මගපෙන්වීමෙන්. ඊට පස්සෙත් මහා වංශය දිගින් දිගටම ලියන්නෙ භික්‍ෂූන් වහන්සේලා.
මහවංශය මුලින්ම ලේඛනගත කළ පස්වෙනි සියවසට තවත් සියවස් දහයකට පමණ කලින් තමයි, වංශ කතාව පටන් ගන්නෙ. යම් ප්‍රමාණයකට ලියැවිලා තිබුණු ඉතිහාසය, යම් ප්‍රමාණයකට කටින් කට ආපු ඉතිහාසය, යම් ප්‍රමාණයකට වෙනත් මූලාශ්‍ර ආදාළ පදනම් කරගෙන තමයි ඒ සියවස් දහයේ ඉතිහාස වංශ කථාව නිර්මාණය වෙන්නෙ. එතැනදී මහාරයීය භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේලාගේ න්‍යාය පත්‍රයන් අනුව යම් යම් සංශෝධන කළ බව, වෙනස්කම් කළ බව පමණක් නෙවෙයි, සමහර සිද්ධි නොලියාම සිටි බවත් පසු කාලීන ඉතිහාසඥයන් පෙන්වා දී තියෙනවා.
ඒත් මේ භික්‍ෂූන් වහන්සේලා සිංහ සීවලී සහ සිංහබාහු නිවුන් දරුවන්ගේ සම්භෝගය, වගේම සිංහ සීවලී දහසය වතාවක් නිවුන් දරුවන් වැදීමේ සංකල්පය මහාවංශයට ඇතුළත් කරනවා.
ඉතින් මම සරත් ලාල් කුමාරගේ නිවුන්නු කෘතිය දොරට වඩින දවසෙ, ලාල් ඇතුළු මේ සභාවේ ඉන්න නිවුන්නුන්ට විශේෂ යෝජනාවක් කරන්න කැමතියි.
ජාතියක, රටක ඉතිහාසය ලේඛනගත කිරීමේදී මේ තරම් ප්‍රමුඛතාවක් නිවුන්නුන්ට දෙන්න හේතුව මොකද්ද? සිංහල ජාතිය සහ ලංකාද්වීපය නිවුන්නුන්ගෙන් පැවත එන ජාතියක් හා දේශයක් ලෙස හඳුන්වන්න හේතුව මොකද්ද?
මෙන්න මේ දේ ගැන ඉතිහාසයේ දැඩි අවධාරණයක් නෑ. අපි විජයගෙන්, එහෙමත් නැත්තං සිංහසීවලී – සිංහබාහු පරම්පරාවෙන් පැවත එනවා කියලා ප්‍රචලිත වෙලා තිබුණත්, අපි මේ පැවත එන්නෙ නිවුන්නුන්ගෙන් කියලා කවුද කොතැනද කියන්නෙ. කවුද කොතැනද අවධාරණය කරන්නෙ. කවුද කොතැනද පෙන්වා දෙන්නෙ.
ඉතින් ඒ ගැන හිතන්න. ඒ ගැන ලියන්න. ඒ ගැන කතා කරන්න.
ඒ ගැන හිතන්නත්, ඒ ගැන ලියන්නත්, ඒ ගැන කතා කරන්නත්, ඒ ගැන පර්යේෂන කරන්නත් හොඳම අය තමයි, මේ රටේ ඉන්න නිවුන්නු.
https://fb.watch/bq7nLBrOJV/