අජීවි පෘෂ්ඨි මත කොරෝනා වෛරසය පවතින්නේ පැය කිහිපයයි – නවතම සොයාගැනීමක්

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසයට, සාමාන්‍ය පරිසර තත්වයන් යටතේ , ඕනෑම අජීවී පෘෂ්ඨයක් මත සක්‍රීයව පැවැතිය හැක්කේ පැය කිහිපයක් පමණක් වන බවත් , ඒ අනුව එවැනි අජීවී පෘෂ්ඨ හරහා කොරෝනා වෛරසය බෝ විය හැකි ඉඩකඩ ඉතා සීමිත බවත් කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සිදුකල නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

ඒ අනුව කොරෝනා වෛරසයට දින 28 ක පමණ කාලයක් ඇතැම් පෘෂ්ඨ මත සක්‍රීයව පැවතිය හැකි බවට ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා නියෝජිත ආයතනය කරන ලද අනාවරණය නිරවද්‍ය නොවන බවද කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොන් එක්ලස් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත අවධාරණය කර ඇත .

“කොරෝනා වෛරසය පිටත පරිසරයට පැමිණෙන්නේ ආසාදිතයන් කැසීම , කිවිසුම් ඇරීම ආදී අවස්ථා වලදී , ඔවුන්ගේ සෙම් , සොටු සමගයි . නමුත් පිටතට පැමිණි විගස , එම සෙම් සොටු වල ඇති සුදු රුධිරාණු සෛල වල ක්‍රියාකාරීත්වය නිසා ඒවා මත රැදී සිටීමට කොරෝනා වෛරසයට ඉතා අපහසුයි . ඒ අනුව පැය කිහිපයක් ඇතුලත වෛරසය විනාශවී යනවා.” යැයි එක්ල්ස් මහතා මෙහිදීපැහැදිලි කරදී ඇත.

කාර්ඩිෆ් හි මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

” ඕස්ට්‍රේලියානු විශේෂඥයින් ඔවුන්ගේ පරීක්‍ෂණය කලේ විද්‍යාගාරයක් තුලයි . සාමාන්‍ය පරිසරයේදී නොවේ, එසේම ඔවුන් එහිදී පරීක්‍ෂණයට භාජනය කලේ ආසාධිතයෙකුගෙ සෙම් සොටු හෝ ඛේටය මගින් පිටවූ වෛරස කොටසක් නොවේ. ඒ අනුව එම පර්යේෂණයේ ප්‍රතිඵල ,අප අවට ඇති සාමාන්‍ය තත්වයන්ට ගලපන්න බැහැ. අඳුරු හා උෂ්ණත්වයෙන් පවා අඩු විද්‍යාගාරයක් තුල සිදුකල එම පර්යේෂණය හරහා ඔවුන් ලබාදී ඇති නිගමන නිරවද්‍ය නැහැ. දින 28 ක කාලයක් ගැන ඔවුන් කල ප්‍රකාශයෙන් වන්නේ ජනතාව තුල අනිසි කලබලයක් හා බියක් ජනිතවීම පමණයි.”

මේ අතර මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන තවත් විශේෂඥවරියක් වන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මොනිකා ගාන්ධි මහත්මියද ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැහැදිලිවම සඳහන් කර ඇත්තේ අජීවී පෘෂ්ඨ හරහා මෙම වෛරසය පැතිරීම ඉතා දුර්ලභ බවයි.