අද සිට “වැඩ ලක්‍ෂයක්” ඇරඹේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් එම වැඩසටහන දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ලබාදීමට නියමිතය.

ආර්ථික අභියෝග ජය ගැනීමේ අරමුණින් නිෂ්පාදනය වැඩි කර ආදායම් ඉහළ නැංවීම “අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ අරමුණ වේ.

අදාළ වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවන් අදහසකි.

“එක අවුරුද්දක කාලයක් තුළ කරන වැඩක්. ප්‍රධානම බලාපොරොත්තුව ජනතා සහභාගීත්වය. ජනතාව විසින් තෝරා ගන්නා ප්‍රදේශයේ, සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කිරීම තමයි මේකේ අදහස. රජය සපයන්නේ අරමුදල් පමණයි. මෙය සම්පූර්ණයෙන්ම ජනතාවට භාරදීලා තියෙන්නේ. ඔවුන් විසින් යෝජනාව ඉදිරිපත් කරනවා. දිස්ත්‍රික්ක 25ට වෙනම මුදල් වෙන් කළා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරු තමයි මුල්‍ය බලධාරියා වෙන්නේ. ඒ නිසා මේක වචනයේ පරිසමාප්තියෙන්ම විමධ්‍යගත කරලා තියෙන්නේ මුදලින් කිව්වොත් බිලියන 85ක් ඍජුව ගම සමග පිළිසඳර සඳහා අයවැයෙන් වෙන්කරලා තියෙනවා.”