අමෙරිකාවේ ප්‍රාන්ත සහකාර නීතිපති ධූරයකට ලාංකික කතක්

Picture of අසංක

අසංක

අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධූරය සඳහා ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිලූෂි රණවීර මහත්මිය තෝරා පත්කරගෙන තිබේ.

ඇය කොළඹ සරසවියේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය හා අමෙරිකාවේ මිනසෝටා හි හැම්ලයින් සරසවියෙන් නීති විශාරද උපාධිය හිමිකරගත් කාන්තාවකි.

ගම්පහ බටපොතදී උපත ලද ඇය සිය අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙනි.

ඇගේ පියා හිටපු කම්කරු කොමසාරිස්වරයෙකු වන අතර මව විශ්‍රාමලත් ගුරුවරියකි.

සරසවි උපාධිය හිමිකරගැනීමෙන් පසුව කලක් ඇඟලුම් කම්හලක මානව සම්පත් කළමනාකාරිණියක ලෙස සේවය කරන ඇය, වසර 2005 දී සැමියා සමග අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වන්නීය.

ඇය සිය පශ්චාත් උපාධිය සඳහා මිනසෝටාහි හැම්ලයින් සරසවියට ඇතුලු වන්නේ ඉන් අනතුරුවය.
උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු මිනියාපොලිස්හි නාගරික පරිපාලන විශ්ලේෂකවරියක ලෙසද ඉන් පසු ශාන්ත පෝල් නගරයේ අය වැය විශ්ලේෂකවරියක ලෙසද ඇය සේවය කර තිබේ.

වසර 2016 දී නීති උපාධිය ලබාගෙන නීතීඥ විභාගයද සමත්වීමෙන් පසු නිලූෂි සිය ප්‍රථම නීති වෘත්තිය ලෙස විනිසුරු ඩිඈන් හිල්ගර්ස් ගේ නීති ලේඛිකාවක ලෙස පත්වූවාය.

” කුඩා වයසෙදි කවදාවත් මම දක්ෂ ළමයෙක් විදියට සැලකුවේ නැහැ. මගේ අධ්‍යාපන හැකියාව තේරුම්ගත්තු දෙමාපියෝ මාව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා යොමු නොකරන්න තීරණය කළා.

හය වන ශ්‍රේණිය දක්වාම මම හිටියේ පංතියේ පහලම ස්ථානයේ. මගේ ජීවිතය දිහා ආපහු හැරිල බලනකොට හැම ළමයෙකුටම බුද්ධියක් සහ විභවයක් ඇති බවත් මනස ශක්තිමත් කරගත්තොත් ඔවුනට අවශ්‍ය ඕනෑම ඉලක්කයක් සපුරා ගත හැකි බවත් මට වැටහෙනවා. මට ඒ දේ කරන්න පුලුවන් වුනානම් කාටත් ඒ දේ කරන්න පුලුවන්” යනුවෙන් ඇය පවසන්නීය.