අය වැය අද පාර්ලිමේන්තුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2019 වර්ෂය සදහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද(05) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. නිදහස් ශ‍්‍රී ලංකාවේ 73 වන අයවැය, මෙය වන අතර මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා විසින්ඉ දිරිපත් කරන දෙවන අයවැය ලෙස මෙවර අයවැය ඉතිහාසයට එක්වේ.

වත්මන් රජයේ පස්වන අයවැය වන මෙය ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සකස් වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් ලෙස ගණන් බලා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

අයවැය කථාව අද ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (06) සිට අයවැය දෙවනවර කියවීමේ විවාදය ආරම්භ වන අතර දින 6ක් එම විවාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම එළඹෙන 12 වැනිදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මාර්තු 13 වැනිදා සිට අපේ‍්‍රල් මස 5 වැනිදා දක්වා දින 19 ක් පුරා සිදු කෙරෙන අතර, අපේ‍්‍රල් මස 05 වැනිදා පස්වරු 5.00ට අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර ඇත..

මේ අතර අයවැය යෝජනාව ඉදිරිපත් කෙරෙන අද දිනයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මකය . පාර්ලිමේන්තු ගැලරියද ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත. පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්ද ක‍්‍රියාත්මක කර ඇත.
අයවැය යෝජනාව පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර අද (05) පෙරවරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පැතුම් වික්‍රමරත්න