අවුන් සාන් සුකි අත්අඩංගුවට – වසරක කාලයක් තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී එරට හමුදාව විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියන්මාර හමුදා විසින් අවුන්සාන් සුකි සිය භාරයේ තබාගෙන සිටින අතර  මෙම තත්ත්වය මතුවුයේ වත්මන් සිවිල් පරිපාලනය හා හමුදාව අතර යළි උණුසුම් තත්ත්වයක් මතුව ඇති පසුබිමක් තුළ වීම විශේෂත්වයක්. හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ද යළිත් වරක් කතා බහක්ද මතුව තිබෙනවා.

ඉකුත් දා පැවති මැතිවරණයෙන් අවුන්සාන් සුකී නායකත්වය ධරන මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් හිමි වුණා. එහෙත් හමුදාව පවසන්නේ මැතිවරණය වංචනික බවයි. අද දිනයේ සිදු කිරිමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමද කල් දමන ලෙසටද එරට හමුදාව දිගින් දිගටම අවුන්සාන් සුකීගේ පක්ෂයට ඉල්ලීම් ඉදිරිපත් කළා.

ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසරක කාලයක් සඳහා මියන්මාරය තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මොවුන් අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසුව මිලිටරි ටීවි මඟින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම තත්ත්වයත් සමඟ මියන්මාරය යළි හමුදා පාලනයකට නතුව ඇති බව වාර්තා වනවා.

අද අළුයම අවුන්සාන් සුකී ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ හමුදාවේ ඉල්ලීම නොතකා පසුගිය මහ මැතිවරණය ජය ගැනීමෙන් පසුව ජාතික ලීගයට බලය හිමි පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩය පළමු වරට රැස්වීමට උත්සහ කිරීමයි.