ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීම, ලංකාවේ මෙහෙණි සසුන ආරම්භ වීම ආදි මෙරට සම්බුද්ධ ශාසනයේ ඉතා වැදගත් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදුවූ ශ්‍රී පාද සමය ඇරඹෙන අසිරිමත් උඳුවප් පොහොය දිනය අදයි.
ලෝවැසි බෞද්ධ ජනයාට ඉතා වැදගත් වන ශ්‍රී පාද සමය සෑම වසරකම ආරම්භ වන්නේ ද උඳුවප් පොහෝ දිනයෙනි.
අද වැනි උඳුවප් පෝ දිනෙක දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබීය.
අනුලාවන් ඇතුළු සෝවාන් ඵල ලැබ සිටි කාන්තාවන් පිරිසක් පැවිදි බවට පත්කර ලක්දිව මෙහෙණි සස්න පිහිටවනු ලැබුවේද උඳුවප් පුර පෝය දවසකය.
ලක්දිව මෙහෙණ සසුන ඇරැඹීම තුළින් මෙරට කාන්තාවනට එතෙක් නොතිබුණු ජාතික හා ආගමික නිදහසක් ලැබුණි.
අනුලා දේවිය හා පැවිදි වූ පිරිස අතර හේමා, ධම්මපාලා මහිලා, සණ්හා, කාලි, උත්තරා ධම්මා සහ සෝභනා යන කාන්තාවන් සිටි බව දීපවංශයේ සඳහන් වේ.
දෙවනපෑතිස් රජු විසින් පෙර “උපාසිකා විහාරය” නමින් හැඳින්වුනු මෙහෙණ අසපුව පිළිසකර කරන ලදී. තවත් ගොඩනැගිලි කිහිපයක් ද එයට එකතු කළ අතර “හත්ථාල්හක විහාරය” යනුවෙන් එය නම් කෙරිණි. එය භික්ෂූණීන් ගේ වාසස්ථානය වූවාක් සේම සංඝමිත්තා තෙරණියද එම මෙහෙණ අසපුවෙහිම වාසය කළ බව සඳහන් වේ.
මෙසේ සිරිලක ඇරැඹි මෙහෙණ සසුන කාන්තාවන් අතර ඉතා ජනපි‍්‍රය වූ ආකාරයත්, කෙටි කාලයක් තුළ දී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත්, ඓතිහාසික තොරතුරුවලින් පිළිඹිබු වේ.
උඳුවප් මාසය ශ්‍රී ලංකාවේ ජන ජීවිතයටද වඩාත්ම වැදගත් මාසයක් සැළකේ.
මෝසම් වැසිවලින් කෙත් වතු සරුකර ගැනීම උදෙසා අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී එළි පෙහෙළි කරගත් හේන්වල බව භෝග සිටුවන්නේද මෙම වැසි බලාපොරොත්තුවෙනි.
මාස් කන්නය සඳහා කුඹුරු අස්වද්දන්නේද මේ මාසයේය.
විශේෂයෙන් උඳු වපුරන මාසය උඳුවප් යනුවෙන් හැඳින්වීමෙන්ම එහි වැදගත්කම මැනවින් කියාපායි.