ආණ්ඩුවටත් විපක්ෂයටත්  කොරෝනා රිංගයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15ක්  නිරෝධායනයට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* ආශ්‍රිත මන්ත්‍රීලා හොයන්න CCTV බලයි
* අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකුටත් කොරෝනා
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ආණ්ඩුවේ මෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතරින් ද පළමු කොවිඩ්-19 ආසාදිතයා ලෙස  රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හඳුනා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ද ආසාදිතයකු බවට හඳුනාගෙන තිබේ.
මේ සමඟ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය දින 10 තුළ ඇසුරු කළ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්ත්‍රීවරු 15 දෙනෙකු හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවැසීය.
ආශ්‍රිත පාර්ලිමේන්තු සාමාජිකයන් හඳුනාගැනිම සඳහා පාර්ලිමේන්තුවේ CCTV දර්ශන පවා පරීක්ෂා කොට කඩිනම් නිරෝධායන පියවර ගෙන තිබුණි.
අමාත්‍යවරයා මෙන්ම මන්ත්‍රීවරයා ද කොවිඩ් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනය යොමු කර ඇත.
ඔවුන් පසුගිය කාලය තුළ ඇසුරු කළ අයට ද නිරෝධායනය වන ලෙස දන්වා තිබේ.
රවුෆ් හකීම් මහතා ඇසුරු කළ මන්ත්‍රීවරු අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ද විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ද සිටින බව වාර්තා වේ.
ඒ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල,  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, එස්. රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් සිටින  බව වාර්තා වේ.
ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පසුගිය සිකුරාදා දිනයේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ඇති අතර තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ආසන්නයේ රැඳී සිට ඇත.
පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපයේ සිටීම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්  කුමාරසිරි  හෙට්ටිගේ මහතාද කොවිඩ්  ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත.
 ඔහු ඇසුරු කළ ආශ්‍රිතයන්ද නිරෝදානය කිරීම සඳහා යොමුකොට ඇතැයි වාර්තා වේ.