ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයෝ විමල්ගේ ගෙදර යති

Picture of අසංක

අසංක

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 12 සහභාගීත්වයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතගේ නිල නිවේසේදී අද (11) පස්වරුවේ රැස්වීමක් පවත්වන බව වාර්තා වේ.

ඒ විමල් වීරවංශ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් කරන ලද මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂය තුල මතුවී ඇති අර්බුදකාරි තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට බව පැවසේ.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ දිනයේත් අමාත්‍ය විමල් වීරවංශ මහතා දැඩි දෝෂදර්ශනයට ලක්කළ පසුබිමක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ, විමල් වීරවංශ අමාත්‍යවරයා අවතක්සේරු කිරීම කෙලෙහිගුණ නොමැතිකම ප්‍රදර්ශනය කිරීමක් බවය.

මේ පිළිබඳ වරින් වර සාකච්ඡා පැවැත්වෙන පසුබිමක අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගෙන් මාධ්‍යවේදින් විමසා සිටියේ මේ හේතුවෙන් ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කරන්නේද යන්නයි.

“ආණ්ඩුවෙන් අපි ගියොත් ඒක ඉර බටහිරින් පායනවා වගේ වැඩක්නේ. මේ විදියට රැස්වෙන්නේ ආණ්ඩුව රකින්න. ආණ්ඩුව කඩන්න කුමන්ත්‍රණකාරයෝ ඉන්නවානේ. හතරවටේම කුමන්ත්‍රණකාරයෝ ඉන්නවා. දේශීයව හා අභ්‍යන්තරව හා බාහිරව. “

ඒ පොහොට්ටුවේ පසුපෙළ අයද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට අමාත්‍යවරයා දුන් පිළිතුර වූයේ “මම එහෙම කිව්වේ නැහැ” යනුවෙනි.