පාකිස්ථානයට පහරදීමට පැමිණ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ඉන්දියානු ගුවන් නියමු අභිනන්දන් හෙට නිදහස් කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් නිවේදනය කර තිබේ.
ඒ ඉන්දු-පාකිස්ථාන සාමය සදහා වන ඉගියක් ලෙසින් බව හෙතෙම අවධාරණය කර සිටියි.
ඉන්දීය ගුවන් හමුදාවේ නියමු අභිනන්දන් වර්දමාන් මෙලෙස නිදහස් කරන බවට පාකිස්ථාන අගමැතිවරයා නිවේදනය කරනු ලැබුවේ ඇමෙරිකාව මෙම අර්බුදය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස කරන ලද ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුවයි.
එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් මේ දිනවල ඉතා ආකර්ෂණීය ප්‍රවෘත්ති ගලාඑන බවයි.
“මම උත්සහ කළා ඊයේ මෝදිට (ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි) කතාකරන්න. මට ඕන වුණේ මේ ප්‍රශ්නය තවත් උග්‍ර කරගන්න අවශ්‍ය නෑ කියලයි. පසුබසිනවා කියන්නේ කිසිසේත්ම බය වුණා කියන එක නෙවෙයි.” යැයි පාකිස්ථාන අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“අපිට ඉන්නවා ඉන්දීය ගුවන් නියමුවා. අපි ඔහු සාමයේ පළමු ඉගිය ලෙස හෙට නිදහස් කරනවා” ඉම්රාන් ඛාන් පවසා ඇත.
ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමේදී ‘කිසිදු කොන්දේසියක් නොමැතිව’ නිදහස් කරන බවට ද පාකිස්ථානය පවසා තිබේ.