ඉන්දීය ප්‍රිමියර් ලීග් ලංකාවේ!

Picture of අසංක

අසංක

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ හෝ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීම කෙරෙහි න්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ ඉන්දියාව තුළ කොවිඩ් වසංගත තත්ත්වය පැතිරයාම ඉහළ යාමත් සමඟ ය.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු කළේය.

එහෙත් එය අතර මැද නවතා දමමින් සියල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යට හකුලාගෙන යාමට සිදු වුණේ එම සමය තුළ ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙනි.

කෙසේ වෙතත් කොවිඩ් තත්ත්වය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන නැවත වරක් සලකා බලන ලෙසට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බලපෑම් එල්ල වී ඇත.

මෙවර තරගාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස දෙවන සතියේ පැවැත්වීමට සැලසුම්කර ඇත.

මෙතෙක් IPL තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස සිටි සමාගම ඉන් ඉවත් වී ඇත.

ලොව ප්‍රකට මෝටර් වාහන සමාගමක් ඒ සඳහා එක්කර ගැනීමට තරග සංවිධායකයින් කටයුතු කර ඇත.

“IPL ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැන අපි වාර්තා දැක්කා. ඒ ගැන අපි සතුටුයි. අපි මේ සම්බන්ධයෙන් BCCI සමඟ ඉක්මනින් සාකච්ඡා ආරම්භ කරනවා ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා උපුටා දක්වමින් Cricbuzz පවසයි.

මෙරට තුළ පවතින වසංගතයේ තත්ත්වය පිළිබඳව ද සිල්වා ධනාත්මක අදහස් පළකර තිබේ. “ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය නරකම තැනක නෑ. අපිට හොඳ සත්කාරකරකයකු විය හැකි බව ඔබට සහතික විය හැකිය,” ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා වැඩිදුරටත් පැවසූ බව එම මාධ්‍ය වාර්තා කළේය.

IPL 2022 සත්කාරකත්වය සැපයීමේ අභියෝගය BCCI සතුව ඇත. නව බලයලත් නියෝජිතයින්ට ඔවුන්ගේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට ජනවාරි 22 වනදා දක්වා කාලය ලබා දී ඇත.