දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය හා මෙරට සංචාරක කර්මාන්තය අතර සුවිශේෂී සබඳතාවයක් ගොඩනැංවීමේ අරමුණින් ප්‍රථමවරට සිනමා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් බැංගලෝරයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන ඇත .
ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය සමග අත්වැල් බැඳ ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු කර ඇත.
දකුණු ඉන්දීය සිනමාවට අයත් , මලයාලම් , තෙලිඟු , කන්නඩ හා දෙමල සිනමා නිර්මාණ සඳහා දර්ශන තලයන් ලෙස මෙරට විවිධ ප්‍රදේශ හා ස්ථාන යොදාගැනීම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම ඉලක්කය වී තිබිණ .
ඒ අනුව සිව්වෙනිවරටත් බැංගලෝරයේදී පැවති ජාත්‍යන්තර නවොත්පාදක සිනමා උළෙලට එක්වෙමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මෙරට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පියවර ගනු ලැබීය .
සිනමා රූ ගතකිරීම් සඳහා සුදුසු , ලොව පුරා ඇති දර්ශන තල හඳුන්වාදීම හා ප්‍රවර්ධනය සඳහාවන දකුණු ඉන්දිය ප්‍රධානම සිනමා උළෙල වන මෙය පසුගිය 14 දා සිට 18 වන දා තෙක් බැංගලෝරයේදී පැවැත්වින .
මේ සඳහා ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සිනමාවේදීන් , නිෂ්පාදකයින් , නළුනිලියන් , සිනමා කර්මාන්තයට සම්භන්ධ විවිධ පුද්ගලයින් , රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර , මෙම උළෙලේදී , භාෂා 45කට අයත් ජාත්‍යන්තර චිත්‍රපට 75කට ආසන්න ප්‍රමාණයක් තිරගත කෙරින .
මෙම උළෙලේ , ශ්‍රී ලාංකිය සැසිය ආරම්භ කරමින්, අදහස් දැක්වූ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය වෙන්කටේෂ්වරන්,මහතා, දකූනු ඉන්දීය සිනමාකරුවන් ,තම ප්‍රියතම චිත්‍රපට ගමනාන්තය ලෙස ලංකාව තෝරා ගත යුත්තේ ඇයි දැයි යන්න විස්තර කළේය .
එසේම මෙම වැඩසටහන සඳහා මෙරට නියෝජනය කරමින් එක්වූ දූත පිරිස , ජාත්‍යන්තර චිත්‍රපට ශ්‍රී ලංකාවේ රූගත කිරීමට අදාළ ඉතිහාසය, සිනමා දර්ශන තල සඳහා මෙරට තුල යොදාගත හැකි ස්ථාන , හා ප්‍රදේශ පිළිබඳව මෙන්ම මෙහිදී විදෙස් සිනමාකරුවන්ට ලැබෙන යටිතල පහසුකම් ඇතුළු සියලු වරප්‍රසාද හා සහන පිළිබඳවද පුළුල් හා විධිමත් විස්තරයක් ඉදිරිපත්කළහ .
මෙම දූත පිරිසට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්‍ෂ චමින්ද මුණසිංහ මහතා ප්‍රමුඛව , චිත්‍රපට අධ්‍යක්ෂ ෂ්‍යාමන් ප්‍රේමසුන්දර මහතා, 360 circle හි අධ්‍යක්ෂක සහ නිෂ්පාදක යසස් රත්නායක මහතා , සිනමා නිෂ්පාදක ප්‍රියංග කුමාරසිරි මහතා , හා චිත්‍රපට අධ්‍යක්ෂ චත්‍රා ඩයස් වීරමන් මහතා ඇතුලත්විය .
ඉන්දීය සිනමා නිර්මාණ සඳහා මෙරට දර්ශන තල ඇතුලත් කිරීම තුලින් , මෙරට වෙත ඉන්දීය සංචාරකයින්ගේ මෙන්ම ඉන්දීය සිනමාව නරඹන ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය හා අවධානය දිනාගැනීමට හැකිවනු ඇති බව මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහකාර අධ්‍යක්‍ෂ චමින්ද මුණසිංහ මහතා පැවසීය .
මෙම මස මුල් සතියේද ඉන්දියාවේ සුප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂකවරියක වන සොයා අක්තාර් ද , තම නවතම සිනමා නිර්මාණයක් සඳහා දර්ශන තල තෝරාගැනීමට මෙරටට පැමිණි බවද මුණසිංහ මහතා මෙහිදී පැවසීය .