එන්නත නොගත් ටෙනිස් ශූරයා, ඕස්ට්‍රේලියාවෙන් නෙරපයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ට සහභාගී වීම සඳහා පැමිණ සිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොකොවිච් ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණ මෙල්බර්න් ගුවන්ටෝටුපොළේ රැඳී සිටි ජොකොවිච් ට එරට බලධාරීන් විසින් දැනුම්දී ඇත්තේ ඔහු ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවශ්‍ය රෙගුලාසි සම්පූර්ණ කර නොමැති බවය.

ඒ අනුව ඔහුව එරටින් නෙරපීමට නියමිත බව විදෙස් මාධ්‍ය පැවසීය.

එරටින් පිටත්වන ගුවන්යානයක ආසනයක් වෙන්කරන තුරු ජොකොවිච් ව රජය මගින් පාලනය වන රැඳවුම් මධ්‍යස්ථානයක් කරා යැවීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට එක්වීම සඳහා ඔහුට “එන්නත් ලබා නොගැනීම” හේතුවෙන් සහනයක් දීමට එරට ටෙනිස් බලධාරීන් එකඟ වී තිබුණි.

නමුත් ඊට ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

ජොකොවිච් කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළ අයෙක් වන අතර ඔහුට වරක් කොවිඩ් ආසාදනය විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ සියලු දෙනාට නීතිය එක ආකාරයෙන් ක්‍රියාත්මක වන බවය.