කාන්තාවන් විඳින ලිංගික හිංසන ගැන අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් පහෙන් එකක් එනම් 20.4%ක් තම සමීප සහකරුවෙකු වෙතින් කායික සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති බවට සමීක්ෂණයකින් අනාවරණය වී ඇත

එහෙත් සහකරුවෙකුගෙන් ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් කාන්තාවන්ගෙන් අඩක් පමණම එනම් 49.3%ක් ඒ සම්බන්ධයෙන් කිසිදු උපකාරක සේවයක සහය ලබාගෙන නොමැත.

එමෙන්ම සමීප සහකරුවෙකු වෙතින් කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් එනම් 35.7%ක් තුළ සියදිවි නසාගැනීමේ සිතිවිලි ඇති වූ බවද එම සමීක්ෂණය මඟින් අනාවරණය වී තිබේ.

ඒ අනුව එම දත්ත, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ ජීවිතවලට ඇතිවන බලපෑම පැහැදිලිව පෙනෙන්නට ඇත.

එම තත්ත්වය අවම කිරීමට නම්, ප්‍රචණ්ඩත්වයට මුහුණදෙන කාන්තාවන් ජාතික උපකාර සේවාවන්වල සහාය ලබාගැනීමට දිරිගැන්වීම සහ, ඔවුන්ට එම උපකාර ලබාදීම සඳහා අවශ්‍ය විධිමත් ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කොළඹ මහ නගර සභාව සමග එක්වී කාන්තාවන්ට සමීප සහකරුවෙකුගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දින 16ක විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.

මේ අතර “මිතුරු පියස” ක්ෂණික ඇමතුම් අංකය නිරාවරණය කරමින් කොළඹ මහනගර සභා ගොඩනැගිල්ල පසුගියදා තැඹිලි පැහැ වර්ණයෙන් ආලෝකමත් කෙරුණි.

කාන්තාවන්ට තම සමීප සහකරුවෙකුගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය පිළිබඳව රටේ අවධානය යොමුකරවීම සහ, එබඳු අවස්ථාවලදී එම දුරකථන අංකය ඔස්සේ සහාය ඉල්ලා සිටීමට කාන්තාවන් දිරිගැන්වීම එහි අරමුණ වී තිබිණි