කාබනික පොහොර ගැන රටට කියන්න ඩිජිටල් මෙහෙයුමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය සහ භාවිතයේ වැදගත්කම ගැන ගොවි ජනතාව ඇතුළු පිරිස් දැනුවත් කිරීමට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙන්ම ඩිජිටල් මාධ්‍යද යොදා ගනිමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ වැඩ සටහනක් දියත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙරේදා (28) රැස්වූ කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත්කර තිබේ.

අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් සිය වෙබ් අඩවියේ තබා ඇති සටහන මෙසේය.

රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික හා ස්වභාවික පොහොර කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබ ඇත. රසායනික පොහොර යෙදීම, නිෂ්පාදනය වැඩි කර ගැනීමට ඇති එකම විකල්පය බවට විශ්වාස කරන ගොවීන් හා අනෙකුත් පාර්ශ්වයන්ට ඒ පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කිරීම, කාබනික පොහොර භාවිතය බහුල කිරීම පිණිස ගොවීන් තුළ අවබෝධය වර්ධනය කිරීම, කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය මෙන් ම පරිසර හිතකාමී වැඩසටහන් සඳහා අනුබලය ලබා දීම යන කරුණු සම්බන්ධයෙන් කඩිනම් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

ඒ අනුව, ගොවි ප්‍රජාව හා තරුණ පරපුර ඇතුළුව අනෙකුත් අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීම සඳහා ශ්‍රව්‍ය, දෘශ්‍ය, මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහ‍ා කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.