කුඩා දැරියක එවූ ලිපියට ජනපතිගෙන් පිළිතුරු ලිපියක්

Picture of අසංක

අසංක

තමා ඉතිරි කරගත් මුදල් ඉටුකම අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ රොහන්සා දියණියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබුණේ මේ අයුරිනි.

 

“ආදරණීය රොහන්සා දියණිය වෙතටයි,

දුවේ,

රටේ අනාගත පරපුර ලෙස මාගේ සේවය අගය කිරීම ගැන පළමුව මම ස්තූතිවන්ත වෙමි. ඔබගේ දායකත්වය “ඉටුකම” COVID-19 සමාජ සංරක්ෂණ අරමුදල වෙත යොමු කර තිබෙනු දැක මම මහත් ආඩම්බරට පත්වීමි. ඔබ වැනි ශ්‍රී ලාංකේය දරුවන් වෙත අපගේ මවුබිම අනාගතයේ භාරවනු දැකීම මා හට මහත් අස්වැසිල්ලකි.

මා වෙත ලැබුණු ජනාධිපති ධුරයේ බලතල ඔබ වැනි දේශප්‍රේමී අනාගත පරපුරකට ජීවත් වීමට සුදුසු සමාජ, ආර්ථික සහ සංස්කෘතික දියුණුවක් සහිත රටක් බිහිකිරීමට යොදවන බවට මම පොරොන්දු වෙමි.

ළමා කාලය අප සියලු දෙනාගේ ජීවිතයේ සුන්දරම කාලයයි. එය තම අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය කෙරෙහි යොදාගනිමින් ශ්‍රී ලාංකේය නාමය ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි නව්‍ය නිර්මාණ කිරීමට ඔබ උත්සුක විය යුතුය. ඔබගේ සියලු කටයුතු සාර්ථක කරගැනීමට මම ආශිර්වාද කරමි.

අපි අපේ රටට ආදරය කරමු. අප වෙත පැමිණෙන සියලු බාදක එක්ව ජයගමු.

තෙරුවන් සරණයි.”