කුරුණෑගල DIG සහ SP මාරු කිරීමේ සූදානමක්

Picture of අසංක

අසංක

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කුරුණෑගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමුව තිබේ.

ආරංචි මාර්ග පැවැසුවේ ලබන 8 වැනිදාට රැස්වෙන කොමිසම විසින් මෙම මාරුවීම පිළිබඳ සළකා බැලීමට නියමිත බවයි.

මෙම නිලධාරීන් දෙදෙනා මාරු කළයුතු බවට දැඩි ස්ථාවරයක සිටින වැඩබලන පොලිස්පතිවරයා ඒ පිළිබඳ කොමිසමට මීට පෙර දැන්වූවද එය ක්‍රියාත්මක නොවීය.

එබැවින් වැඩබලන පොලිස්පතිවරයා විසින් මොවුන් මාරු කළ යුතු හේතු දක්වමින් යළිත් කොමිසමට කරුණු පැහැදිලි කර ඇත.

වෛද්‍ය ෂාෆි සහබ්දීන් අත්අඩංගුවට ගැනීමේදී පෙර පැමිණිලි නොමැතිව පසුව කූඨ ලේඛන සකස් කළ බවට මෙම නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.

පාර්ලිමේන්තු නිලධාරියකු අත්අඩංගුවට ගැනීම ද මොවුන් කර ඇත්තේ ප්‍රාථමික විමර්ශන පිළිබඳ පවා අවධානය යොමු නොකොට බවට වැඩබලන පොලිස්පතිවරයා කරුණු දක්වා ඇත.

එබැවින් මෙම නිලධාරීන් දෙදෙනා තවදුරටත් එම ස්ථානවල රාජකාරි කිරීම පවතින විමර්ශන සඳහා අයහපත් බලපෑමක් වනු ඇති බැවින් ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා කොමිසමට කළ කරුණු දැක්වීමේ සඳහන් බව ආරංචි මාර්ග පැවැසීය.