කොටස් වෙළඳපොළ ආයෝජන හරහා , අර්ථසාධක අරමුදලට සුපිරි ලාභයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සිදුකර ඇති ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම ‌2021 වසර අවසාන වන විට රු. බිලියන 112 ක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

මෙම ආයෝජනයන් හි පිරිවැය රු. බිලියන 84 ක් වේ.

ඒ අනුව කොටස් වෙළෙඳපොළ ආයෝජන හරහා සේවක අර්ථසාධක අරමුදල විසින් මෙතෙක් උපයා ඇති උපලබ්ධි නොවූ ලාභය රු. බිලියන 28 කි.

මීට අමතරව 2021 වසර තුළ දී ප්‍රාග්ධන ලාභ, මුදල් ලාභාංශ හා කොටස් ලාභාංශ හරහා රු. බිලියන 4.7 ක ලාභයක් උපයා ගැනීමට ද අරමුදල සමත් වී තිබේ.

සේවක අර්ථසාධක අරමුදල යනු ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය වන අතර, 2020 අවසන්වනවිට එම අරමුදලෙහි ආයෝජන කළඹෙහි වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 3,243 ක් වේ. මින් 94% ක්ම ආයෝජනය කර ඇත්තේ රජයේ සුරැකුම්පත්වලය. සමාගම් කොටස්වල ආයෝජනය කර ඇති ප්‍රමාණය 3% ක් පමණ වේ.

සේවක අර්ථසාධක අරමුදලෙ හි පරිපාලන කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව මගින් සිදු වන අතර එහි අරමුදල් කළමණාකාරණය මුදල් මණ්ඩලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.