කොවැක්ස් පහසුකම යටතේ පළමු කොවිඩ් එන්නත් තොගය මෙරටට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට නොමිලේ පිරිනමන පළමු එන්නත් මාත්‍රා තොගය ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟාවිය.

මෙලෙස ලැබී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත වන අතර ඒවා ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිපදවා ඇත.

අදාළ එන්නත් මාත්‍රා තොගය ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඩුබායි වෙත රැගෙන ගොස්, යළි ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුනු අතර ඒ අනුව එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් එම එන්නත් මාත්‍රා තොගය රැගෙන ආ බව වාර්තාවේ.

එන්නත් මාත්‍රා තොගය භාරගැනීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ හා යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත එමා බි්‍රගම් ඇතුළු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ගුවන් යානයේ ශීතකරණ තුළ අසුරා තිබූ මෙම එන්නත් තොගය, ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ආනයන ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාර තුළ තැන්පත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ඉකුත් දිනවල පැවැති විවිධ ගැටළු මේවනවිට නිරාකරණය කර ඇති බවය.