කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය නෑ

Picture of Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ් මර්දන එන්නත්  අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවට නීතියක් හෝ රෙගුලාසියක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ  (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ එන්නත ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් පමණක් යම් පුද්ගලයෙකුට එය ස්වෙච්ඡාවෙන්  ලබාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී ඇත.

එන්නත්කරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශ නිකුත් කිරීමේ බලධාරියා තමන් බවත් මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයේ නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

වයස අවුරුදු 18ට වඩා අඩු පුද්ගලයින්ට කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය එම දැනුම් දීම කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදුන් එම ප්‍රතිඥාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සටහන් කර ගැනීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම ජනවාරි මස 11 වන දා තෙක් කල් තැබුණි.

වෛද්‍ය ධරණී රාජසිංහම් ඇතුළු තිදෙනෙකු විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබීය.

මෙහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය ඇමති සූදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.