කොවීඩ් ඩෙල්ටා ප්‍රභේදය දිස්ත්‍රික් 3ක පැතිරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

*එකවර වැඩිම ආසාදිතයන් පිරිසක්

පැතුම් වික්‍රමරත්න

දිවයිනේ දිස්ත්‍රික් 3කින් සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත වඩාත් හානිකර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනයවූ තවත් 19 දෙනෙකු හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරටින් එකවර සොයා ගැනුණු වැඩිම ඩෙල්ටා කොරෝනා වයිරස ආසාධිතයින් සංඛ්‍යාව මෙයයි.

කොළඹ, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත කීය.

නාවික හමුදා සාමාජිකයන් කිහිප දෙනකුද ඒ පිරිසේ සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ අනුව මෙරටින් මෙතෙක් හමුවී ඇති ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 38කි.

මෙම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් දහනව දෙනා හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

අලුතින් සොයා ගැනුණු මෙම ඩෙල්ටා ආසාදිතයන් පිළිබඳ වාර්තාවක් එම අධ්‍යයන අංශය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ (15) බාර දී තිබේ.

මේ රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පැහැදිලිව හඳුනාගෙන අවශ්‍ය සෞඛ්‍යමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.