ආනෝල්ඩ් හදිසියේම සැත්කමක් වෙනුවෙන් රෝහල්ගත කරලා. ඒ උතුරු බ්‍රිස්බේන්හි මුරුම්බා රෝහලටයි. ගෙලේ දකුණු පස ඇති විශාල ගෙඩියක් ඉවත් කිරීම වෙනුවෙන් තමයි ආනෝල්ඩ් රෝහල්ගත කළේ. සැත්කම කරද්දී වෛද්‍යවරයාට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා. වෛද්‍ය ලියැම් ෆ්ලැනගන් නම් කිව්වේ සේලයින් ලබාදුන් සිරින්ජයටත් වඩා රෝගියා පුංචි නිසා සැත්කමට පුංචි ආම්පන්න සොයාගන්න සිදුවුණා කියලයි.
අපි මේ කියන ආනෝල්ඩ් ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්. ඒ නිසයි පශුවෛද්‍ය ලියැම්ට මේ සිද්ධියට මුහුණදෙන්න සිදුවුණේ.
ආනෝල්ඩ් සැත්කමට ගන්න වෛද්‍යවරයාට මුලින්ම ග්‍රෑම් 20ක් විතර බර පුංචිම පොකුණක් හදන්න සිදුවුණා. පුංචි භාජනයකට ජලය ඉතා සුළු ප්‍රමාණයක් දාලා ඒක උඩට වියළි තුවායක් දැම්මේ ජලය ඒකට උරාගෙන පුංචි ආනෝල්ඩ් පරිස්සමට ඒක මත තියාගන්න ඕන නිසයි.
ඊට පස්සේ වතුර තුවායට උරාගත්තට පස්සේ ආනෝල්ඩ්ගේ මුහුණ පෙදෙසේ ජලය ටිකක් තිබෙන්නට හැරලා ආනොල්ඩ්ට නිර්වින්දන ඖෂධ භාවිත දුන්නා. පශුවෛද්‍යවරයා බල්ලන්ට, බළලුන්ට දෙන නිර්වින්දන ඖෂධම තමයි ආනෝල්ඩ්ට දුන්නෙත්. වෙනසකට තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් දීම පමණයි.
බෙහෙත් නිසා ආනෝල්ඩ් නින්දට වැටුණට පස්සේ වෛද්‍යවරයා කඩිමුඩියේ සැත්කම කළා. ආනෝල්ඩ් පුංචි වුණත් වෛද්‍යවරයාගේ සහයට තවත් කෙනෙක් අවශ්‍ය වුණා.
පශුවෛද්‍ය ලියැම් නම් කියන්නේ ආනෝල්ඩ්ගේ සැත්කම එයා පුංචි වුණත් හිතපු තරම් ලේසි වුණේ නෑ කියලයි. ආනෝල්ඩ්ටත් වඩා ලොකු සිරින්ජයකින් එයාට ඔක්සිජන් දෙන එක නියමාකාරයෙන් කිරීම ඉතාම අපහසු වුණාලු.
කොහොමහරි ආනෝල්ඩ්ගේ සැත්කම සාර්ථක වෙලා. දවස් 5ක් රෝහලේ පුංචි කෘත්‍රිම පොකුණක හිටිය ආනෝල්ඩ් දැන් ගෙදර ගිහින්. මේ සිද්ධිය තමන්ට සුවිශේෂී වූ නිසාම පශුවෛද්‍ය ලියැම් තමන්ගේ සමාජ ජාල ගිණුමේ සටහනක් දාලා තිබුණා. ‘කිසිම පුංචි ජීවියෙක් ප්‍රතිකාර කරන්න මට පුංචි කෙනෙක් නෙවෙයි. පුංචි ආනෝල්ඩ්ගේ සැත්කම මට කවදාවත් අමතක වෙන්නේ නෑ’ කියලා.
ලෝකයේ මාළුන්ගේ සැත්කම් සිදුවන්නේ ඉතාම කලාතුරකින්. එවැනි අවස්ථා 10ක්වත් සොයාගන්නට නැතිතරම් දුලබ දෙයක්. මේ පළමු අවස්ථාව නොවුණත් කලින් මාළුන්ට සිදුකළ සෑම සැත්කමක්ම පාහේ සිදුකර ඇත්තේ තරමක් ලොකු මාළුන්ටයි. ඇතැම් විට මේ තරම් පුංචි මාළුවකුට කළ සැත්කම් දෙකක් පමණ අතුරින් මෙය එකක් විය හැකියි.




