ජනාධිපතිවරණය අභියස මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අත්සන් කිරිම සුදුසු නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ජනාධිපතිවරණයක් අභියස සිට හදිසියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි රටට බලපාන ගිවිසුම් ඇමරිකාව සමඟ අත්සන් තැබීම සුදුසු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (3) ප්‍රකාශ කළේය

ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කර එම ගිවිසුම් රටට අහිතකර නොවන්නේ නම් පමණක් ජනපතිවරණයෙන් පසුව ඒවා අත්සන් කිරීම සිදුකල හැකි බවත් ඔහු පැල්වත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සිල්වා මහතා මෙසේද පැවසීය
රටේ ඉඩම් පිළිබඳ ගැටලූ නිරවුල් කර එම තොරතුරු සියල්ල පරිගණක ගත කිරිම, ප‍්‍රවාහන පද්ධතිය හා මාර්ග පද්ධතිය නිරවුල් කිරිම මෙහි ප‍්‍රධාන අරමුණු ලෙස දක්වා තිබෙනවා. ඒක රටේ ස්වෛරීභාවයටත්, අර්ථිකයටත් විශාල බලපෑමක් සිදුවිය හැකි තත්ත්වයක් ඇති කරනවා.

මෙතෙක් කලක් පැවති ආණ්ඩු විදේශීය සමාගම් හා රටවල් සමඟ අත්සන් කළ ගිවිසුම් වලින් රටට සෙතක් වෙනුවට සිදුවූ අහිතකර බලපෑම් වැඩි නිසා ජනතාව තුළ මෙවැනි ගිවිසුම් සම්බන්ධයෙන් සැක මතුවීම සාධාරණයි. ගිවිසුමෙන් සිදුවන්නේ රටට සෙතක් නම් එය ජනතාවටත් පාර්ලිමේන්තුවටත් වසන් කිරිමේ අවශ්‍යතාවයක් නැහැනේ. ආණ්ඩුව මේක හංගන එක තුළම සැකයක් ඇති කරනවා.

ගිවිසුම අත්සන් කිරිමෙන් පසු පාර්ලිමේන්තුවට එය සංවාදයට ගන්න පුළුවන් කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලය කියලා තිබෙනවා. ඒකෙන් කිසිම වෙනසක් කරන්න බැහැ. හොඳම ක‍්‍රියාමාර්ගය නම් ජනතාව දැනුවත් කර පාර්ලිමේන්තුවත් දැනුවත් කර ඇති කරගන්නා සංවාදයකින් පසු රට හිතකර ලෙස ගිවිසුම් අත්සන් කිරිමයි.