ජපන් රැකියාවලට යවද්දී සමෘද්ධි අයටත් අවස්ථාවක්

Picture of අසංක

අසංක

ජපානයට පුහුණු ශ්‍රමිකයන් යැවීමේදී මෙරට දිළිඳු පවුල් හා සමෘද්ධි පවුල්වල සාමාජිකයන්ටද සාධාරණ අවස්තාවක් ලබාදීමට කම්කරු අමාත්යංශය සැලසුම් කර ඇත.

ඒ අනුව එම රැකියාවන්ගෙන් නිසි ප්‍රතිශතයක් මෙම අඩු අදායම්ලාභී පවුල්වලටද වෙන් කිරීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය

IM Japan ආයතනයේ සහ ජපන් රැකියා සඳහා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභීන් සමඟ ඊයේ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“අද ජපානයට රැකියා සඳහා යෑමට රුපියල් ලක්ෂ පහක් වැනි මුදලක් එක් අයෙකුට වැය වේ. ඒ මුදල් සමහරු හොයා ගන්නේ මුළු පවුලෙම කනකර, ඉඩම්, ගෙවල් උකස් කර රටට ණය වීය. ඒ නිසා ඇත්තටම ආර්ථික වශයෙන් නගා සිටුවිය යුතු දිළිඳු පවුල්, සමෘද්ධි පවුල් වලට මේ අවස්ථාව නොලැබෙන බැවින්, රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකම ඒ පවුල්වල සාමාජිකයන් සඳහා ජපන් රැකියා අවස්ථා සාධාරණ ප්‍රතිශතයක් වෙන් කළ යුතුයි ,”

මෙම සාකච්ඡාවට IM Japan ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සාමාන්‍යාධිකාරී හිරෝතකා කවහාරා (Hirotaka Kawahara) මහතා සහ ජපන් රැකියා සඳහා ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී ආයතන නියෝජිතයන් එක් වූහ.

මෙහිදී විශාල පිරිසකට ජපානයේ රැකියා ලබාදීමට කවහාරා මහතා එකඟ වූ අතර, ඒ සඳහා එරට රැකියා ඉල්ලුමට සරිලන පුහුණුවීම් ලබා දෙන ලෙසද ඔවුන්ගේ ජපන් භාෂා නිපුණතාවය අත්‍යාවශ්‍ය බව ද කවහාරා මහතා පැවසීය.