‘ජවිපෙ අපේක්ෂකයා කැතක් නැතුව ඡන්දෙ දෙන්න පුළුවන් කෙනෙක්’ – ටිල්වින්

Picture of අසංක

අසංක

දේශපාලන පරිණතභාවයක් ඇති , සියලූ සුදුසුකම් සම්පූර්ණ කල අපේක්‍ෂකයෙක් ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටී.

එසේම ජනතාවට, කැතක් බයක් නැතුව ජන්දය ලබාදිය හැකි අපේක්ෂකයෙක් මෙම බලවේගයෙන් ඉදිරිපත් කරන බවද බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා පැවසීය .

දේශපාලනය පාදඩකරණයට ලක් කළ රාජපක්ෂ කඳවුරත් එය පරාජය කිරීම වෙනුවට එයට නොදෙවෙනි ගමනක් ගිය එක්සත් ජාතික පක්ෂ කඳවුරත් පරාජය කළ හැකි එකම විකල්ප බලවේගය ජාතික ජන බලවේගය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙහිදී පැවසීය .

2015 වසරට පෙර රාජපක්ෂ කඳවුර විසින් ගොඩනගන ලද දූෂිත දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කර නව දේශපාලන වටපිටාවක් රට තුළ ගොඩනගන බවට පොරොන්දු දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පැවති දූෂිත සංස්කෘතිය වෙනස් කරනවා වෙනුවට එවැනිම ගමනක් ගිය බව ටිල්වින් සිල්වා මහතා පවසයි.

දේශපාලනයෙන් තොර අපේක‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි මේ වන විට රටේ සංවාදයක් ඇතිව තිබෙන බවද , උපාධියක් තිබුණු පමණින් රටක් වෙනස් කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවද ටිල්වින් මහතා මෙහිදී පැවසීය

එම විනාශකාරී දේශපාලන සංස්කෘතිය පරාජය කර නව දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීමට පවතින එකම විකල්පය ජාතික ජන බලවේගය සහ එහි ජනාධිපති අපේක්ෂකයා බවත් 2015 වසරට පෙර පැවති දූෂිත දේශපාලන පව්ල් පාලනය නැවත ගොඩනැගීම යථාර්තයක් නොවන බවත් ටිල්වින් සිල්වා මහතා පැවසීය.