තරුණ ව්‍යවසායකයින් ජාතික ඇඳුමින් දැකීම සතුටක්  -අගමැති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
වසර 22කට පසු රට ජාතිය පිළිබඳ හැඟීම ඇති පිරිසක් ජාතික ඇඳුමින් යළිත් එක්ව සිටිනු දක්නට ලැබීම සතුටක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ලාංකීය තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ උත්සවයට පසුගිය   10 වැනිද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, තරගකාරීව ව්‍යාපාරයේ යෙදෙන තැනැත්තා ජයග්‍රහණය කිරීම විවෘත ආර්ථිකයේ ක්‍රමය වන බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රමාත්‍යවරයා,
“තරගය මත තමයි සියල්ල තීන්දු වුණේ. විවෘත ආර්ථිකය පැමිණීමත් එක්කම ශක්තිවන්තයා ඉතුරුවෙලා දුර්වල තැනැත්තා හැලිලා ගිය බව ඔබ දන්නවා. දැන් තරඟය වෙනුවට සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ගොඩනැගෙන්න පුළුවන් කියන හැඟීම, දැක්ම අපේ ව්‍යාපාරික සමාජයට ඇවිල්ලා තියෙනවා. තරුණ ව්‍යවසායකයින් පළමුවතාවට තමයි ටයි කෝට් නැතුව ජාතික ඇඳුමින් එදා ඒකරාශී වුණේ. මට මතකයි ජීවිතේ පළමුවතාවට ජාතික ඇඳුමින් සැරසුන අය, මීට වසර 22කට පෙර එකතුවෙලා හිටපු හැටි. අදත් ඒ ජාතික ඇඳුම ඇදගෙන මෙතැනට ඇවිල්ලා ඉන්න බව දකිනකොට වසර 22කට කලින් තිබුණ සුහද හැඟීම, ජාතිය පිළිබඳ හැඟීම, රට පිළිබඳ හැඟීම ඇති පිරිසක් දැන් එකතුවෙලා ඉන්නවා කියන එක අපිට විශාල ආඩම්බරයක් දැනෙනවා.“