තලේබාන්වරුන්ට එරෙහිව ලොව පුරා උද්ඝෝෂණ – ඇෆ්ගන් වැසියෝ රට හැරයයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමට එරෙහිව මේ වනවිට ලොව පුරා  රටවල් රැසක විරෝධතා ව්‍යාපාර ආරම්භවී ඇත .

තලේබාන් සංවිධානයට බියෙන් වරින් වර රට හැර ගොස් සිටින ඇෆ්ගනිස්තාන ජාතිකයන් විශාල වශයෙන් මෙම විරෝධතාවලට සම්බන්ධව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත

කැනඩාව ,එක්සත් රාජධානිය , ඔස්ට්‍රේලියාව සහ ඔස්ට්‍රියාව ඇතුලු රටවල් රැසක මෙම විරෝධතා ව්‍යාපාර ආරම්භවී ඇති අතර මේ සඳහා දහස් සංඛ්‍යාත පිරිස් එක්රොක් වෙමින් ඇති බවද වාර්තාවේ .

විරෝධතාකරැවන් සදහන් කර සිටින්නේ  ඇෆ්ගනිස්තානයේ බලය යළි තලේබාන් සංවිධානය යටතට පත්වීම මහා මානුෂික ඛේදවාචකයක් නිර්මාණය කරනු ඇති බවයි.

විශේෂයෙන්, මේ සමග කාන්තා සහ ළමා අයිතිවාසිකම් බරපතල ලෙස සීමාවනු ඇති බව විරෝධතාකරැවන් අවධාරණය කරයි

තලේබාන් සංවිධානයට යළි බලය අල්ලා ගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් පකිස්තානයට චෝදනා කළ විරෝධතාකරැවන් වැඩිදුරටත් සදහන් කළේ පකිස්තානයට සම්බාධක පැනවීමට කටයුතු කළ යුතු බවයි.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇතුලු සියලු ප්‍රධාන නගර මේ වනවිට තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කර තිබෙන අතර  පවතින ගැටුම් හමුවේ එරට ජනාධිපති අස්රොෆ් ගහනිද ටජිකිස්ථානය වෙත පළා ගොස් ඇති බවද  විදේස් මාධ්‍ය වාර්තාවල දැක්වේ . ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා රටින් පලායාමත් සමග තලෙයිබාන් කැරළිකරුවන් එරට ජනාධිපති මන්දිරයේ පාලනයද සියතට ගෙන තිබෙ.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බලය අත්පත් කර ගැනීම හමුවේ කාබුල් වැසියන් දහස් ගනනක් රට අතහැර පලා යමින් සිටින බවද වාර්තාවේ ,

ඒ අනුව කාබුල් වැසියන් සිය නිවාස, රැකියා හා මුදල් ඇතුලු සියල්ල හැර දමා පලා යමින් සිටින බව විදෙස් වාර්තා පවසයි . ඒ හමුවේ කාබූල් ගුවන් තොටුපල තුල දැඩි තදබදයක් පවතින බවද වාර්තා වේ.

බොහෝ පිරිස් කාබුල් ගුවන් තොටුපොලේ ඇති ගුවන් යානාවලට ඇතුළුවීම සදහා පොරබදින ආකාරය දැක්වෙන වීඩියෝද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් ඇත  .

මේ අතර සිය රටවැසියන් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් මුදා ගැනීමේ අපේක්ශාවෙන් අමෙරිකාව ඇතුලු බටහිර රටවල් රැසක්ද සිය ගුවන් යානා කාබුල් ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා ඇත.

රටින් පලා යාමට උත්සහ දරන ඇෆ්ගන් වැසියන් පාලනය කර ගැනීමට නොහැකි වීම හමුවේ අමෙරිකානු හමුදාව විසින් ගුවන් තොටුපලේදී ගුවනට වෙඩි ප්‍රහාර රැසක් ද එල්ල කර තිබෙ.

. ඇෆ්ගනිස්තානය තුල පවතින තත්ත්වය පිලිබද සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය ද අද පස්වරුවේ විශේෂ හමුවක් කැදවා ඇත

මේ අතර ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගෙන් බොහෝ දෙනෙකු තමන් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක් කර ඇත . සිය කාර්යාංශය සහ විදේශ අමාත්‍යාංශය ඊට අවශ්‍ය මැදිහත් වීම් සිදු කරමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතා මාධ්‍ය වෙත  පැවසීය .