නැගෙනහිර පර්යන්තය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ – අගමැති සහතිකවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට හෝ වෙනත් රටවල් වලට බදු දීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම පිළිබදව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය ,

” ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නෙ වෘත්තිය සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තිය සමිතිවලටත් කියන්නෙ දෙනවද කියලා අපි කිසි විටකෙ ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ.

මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩවර්ජන කරන්න දෙයක් නෑ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ විකුණන්න ඕන නෑ කියන පදනමේ. ජනාධිපතිතුමත් ඒ මතයෙ හැර දේපල විකුණන මතයෙ නැහැ. දේපල විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඉතිං එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙමෙයි අපට බලය දීලා තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලිව කියනවා”