නැවේ තෙල් කාන්දුවක් ඇති බවට දැන්වූ “ඊ මේල්” පණිවුඩය මකා දමලා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇති බව  දන්වා එහි  කපිතාන්වරයා එවූ ඊමේල් පණිවුඩ,නෞකාව හා සම්භන්ධ  දේශීය සමාගම විසින් මකා දමා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රකාශ කළේ , නෞකාවේ කපිතාන්වරයා විසින් මෙම ඇසිඩ් කාන්දුව පිළිබඳව නැව අයිති විදේශිය සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස කටයුතු කළ ආයතනයට දැනුම් දී ඇති බවයි.

එහෙත් එම ඊමේල් පණිවුඩය දේශීය නියෝජිත ආයතනය විසින් මකා දමා ඇති බව මේ දක්වා ලබාගත් ප්‍රකාශවලින් සනාථ වී ඇතැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඔහු පැවසුවේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සුරක්ෂිතව සහ අනතුරුදායක තත්ත්වයෙන් තොරව ඇති බැවින් කොළඔ වරායට ඇතුළු වීමට අවසර ලබාදෙන ලෙස පසුගිය 19 වැනිදා පස්වරුවේ දේශීය නියෝජිතායතනය කොළඔ වරායට දැනුම් දී ඇති බවයි.

නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවන බව මුල්වරට දැනුම් දී ඇත්තේ පසුගිය 20 වැනිදා පෙරවරු 10 පමණ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය නාවික හමුදාපතිවරයාට නියෝග කළේ, නෞකාවට ආරක්ෂාව සපයන ලෙසයි.

එමෙන්ම නෞකාවේ දේශීය නියෝජිත ආයතනය හා නෞකාව අතර හුවමාරු වී ඇති ඊමේල් පණිවුඩ අනාවරණ කර ගැනීම සඳහා දත්ත පටිගත කිරිමේ යන්ත්‍ර පිටපතක් අධිකරණයට ලබාදෙන ලෙසද නියෝග කෙරිණ.