පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට පැනවූ විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කර තිබේ.
ඒ ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගයට අනුවයි.
තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය මගින් පණවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කරන ලෙසත් එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විරෝධය පළ කළේ නොකිරීම හේතුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කර තිබුණි.
එසේම නිශ්ශංක සේනාධිපති මහතාට අප්‍රේල් මස 23 වන දා පෙරවරු 11ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
අනතුරුව අධිකරණය භාරයේ පවතින සේනාධිපති මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප මත මුදා හරින ලෙස ද අධිකරණය විසින් නියෝග කෙරිණි.