නීතිපති උපදෙස් නොතකා බ්‍රැන්ඩික්ස් පොකුරේ සුල මුල සෙවීම තවමත් CCDයේ

Picture of අසංක

අසංක

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ඇතිවීමට හේතු පිළිබඳ විමර්ශනය සඳහා විවිධ කොට්ඨාශවලින් ජේෂ්ඨ, දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ගෙන් යුතු ඉහළ මට්ටමේ කණ්ඩායමක් පත්කරන ලෙසට නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට ලිඛිත උපදෙස් ලබාදී තිබියදී ඒ විමර්ශනය තවමත් කරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් බවට වාර්තාවේ.

එම විමර්ශනය කිරීමට පළපුරුදු සහ දක්ෂ නිලධාරීන්ගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කරන ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත පසුගිය 27 වැනිදා කරන ලද නියෝගය, අපරාධ කොට්ඨාශයට යොමු කිරීමක් පමණක් සිදු වී ඇති බවට පෙනී යන්නේ යැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

එම විමර්ශන සඳහා මේ වන විටත් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවත් නීතිපතිවරයාට දැනගන්නට ලැබී ඇත.

පසුගිය 26 වැනිදා වන විට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති පසුබිමක එම කොට්ඨාශයට මේ විමර්ෂණය පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා භාරදී ඇතැයි නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේය.

එමෙන්ම එම කොට්ඨාශයට මෙම විමර්ශනය කිරීමේ අපහසුතා පවතින බවට එහි අධ්‍යක්ෂවරයා විසින් ඊයේ වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

ඒ අනුව නීතිපතිවරයා උපදෙස් දී තිබුණේ විමර්ශනය සඳහා විවිධ කොට්ඨාශවලින් ජේෂ්ඨ, දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ගෙන් යුතු ඉහළ මට්ටමේ කණ්ඩායමක් පත්කරන ලෙසයි.