පකිස්තාන අගමැති අද දිවයිනට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද දිවයිනට පැමිණීමට නියමිතය. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුවයි. විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ සිය සංචාරයේ දී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වන බවයි.

පසුව ශ්‍රී ලංකා – පාකිස්තාන අග්‍රාමාත්‍යවරුන්ගේ ද සහභාගීත්වයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට ද නියමිතයි. රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර වෙළෙඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරිකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා සංචාරයට එක්වනු ඇති.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම වසරේ සිය රටෙන් බැහැර නිරත වන පළමු නිල සංචාරය මෙය වන අතර, මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ද ඔහු වනවා. පාකිස්තාන රාජ්‍ය නායකයෙකු 2016 වසරේ දී මෙරට සංචාරය කිරීමෙන් අනතුරුව එරට කිසිදු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සංචාරයක නිරතව නොමැති වීමද විශේෂත්වයක්.