පාසල්වල උත්සව පැවැත්වීම අත්හිටුවයි .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාසල්වල සියලුම අකාරයේ උත්සව  පැවැත්වීම අත්හිටුවන ලෙස  අධ්‍යාපන ලේකම්වරයා  උපදෙස් දී ඇත

පවතින කොරෝනා වසංගතය හමුවේ ඇති අවදානම් හා අනාරක්ෂිත තත්ත්වය මත මෙම උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත ..

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, කොවිඩ් 19 වසංගත තත්ත්වය මත පවතින අවදානම් හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි .

වත්මනෙහි දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කර ඇත .

ඒ අනුව, පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලිපියක් නිකුත් කොට තිබේ.

ඒ අනුව, දැනට යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ල ද , ඉදිරියේ සැලසුම් කර ඇති උත්සව ද නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කරයි .