පාසල් කොරෝනා වෛරසයෙන් තොර කරන්න ඇන්කර් වෙතින් වැඩපිළිවෙළක්

Picture of අසංක

අසංක

මෙරට පාසල් , කොරෝනා වෛරසයෙන් තොර , පිරිසිදු හා සුරක්ෂිත ස්ථාන බවට පත්කිරීම සඳහා ඇන්කර් සමාගම විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මේ යටතේ ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන සන්නාමය වන ඇන්කර් සමාගම නියෝජනය කරන කණ්ඩායමක් විසින්, බියගම ප්‍රදේශයේ පාසල් පිරිසිදු කිරීම සඳහා විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදි.

මෙහිදී බියගම මධ්‍ය මහ විද්‍යාලය සහ බියගම ප්‍රාථමික විද්‍යාලය යන පාසල් වල පන්ති කාමර සහ උද්‍යාන ආදිය පිරිසිදු කිරීම සිදුකෙරුණු අතර, දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද පැවැත්විණි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් බියගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති යූ. වී. ගුණරත්න මහතා මෙසේ පැවසී ය. “ඣඪෂෘ-19 වසංගතය අප කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ දැවැන්ත අභියෝගයක් වුවත්, මේ මොහොතේ පාසල් පරිශ්‍ර නිසි ලෙස නඩත්තු නොවීම නිසා මදුරුවන් බෝවීම ආදිය මගින් මතුවන අනෙකුත් අවදානම්ද අප කිසිසේත් අමතක කළ යුතු නැහැ. එම අවදානම් මගහරවා ගැනීමට අප වහාම පියවර ගත යුතු වනවා.

මෙම පාසල් දෙකේ උද්‍යාන හා ක්‍රීඩා පිටි වල නඩත්තු කටයුතු සඳහා ට්‍රැක්ටරයක් සහ තණකොළ කපන යන්ත්‍රයක් ලබාදීමටද ඇන්කර් කටයුතු කළේ ය. පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා විෂබීජහරණ යන්ත්‍රයක් භාවිතා කරන ලද අතර, දරුවන් පාසල් පැමිණි පසු ඔවුන්ගේ භාවිතය සඳහා මුඛ ආවරණ සහ දෑත් පවිත්‍රකාරක තොගයක්ද පරිත්‍යාග කරන ලදි.

මීට අමතරව, නියමිත විධිවිධාන අනුව පාසල් වෙත පැමිණෙන දරුවන් වෙනුවෙන් සතියක් පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමටද ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගමේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාව සම්බන්ධ විශේෂඥයන් කටයුතු යොදා තිබේ.