ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඡායාරූප ඇතුළත් පූර්ණ විස්තරයක් අයිඑස් ත්‍රස්ත සංවිධානය විසින් නිකුත් කරන ‘අල් නාබා’ සගරාවේ නවතම කලාපයේ පළකර තිබේ.
පෙරේදා 25 නිකුත් කර තිබූ එම සගරාවේ 179 කලාපයේ පිටු කිහිපයක් මෙරට බෝම්බ ප්‍රහාරය පිළිබද වෙන් කර තිබූ අයුරු පහත දැක්වේ.
එම ලිපියේ තිබූ පරිදි අයිඑස් සංවිධානය සම්බන්ධ සාමාජිකයන් වන සහරාන් හාසිම් ඇතුළු ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ගේ අයිඑස් සංවිධාන නම්වලින් ප්‍රහාරවලට යැවූ අය පිළිබද සදහන් කර තිබුණි.
ග්‍රැෆික් ආශ්‍රයෙන් ද එම පුවත පළකර තිබූ අතර මෙවර අයිඑස් කලාපයේ ප්‍රධාන තැනක් මෙරට ප්‍රහාරය සම්බන්ධයෙන් ලබාදී තිබුණේ ඔවුන්ගේ සාර්ථක වූ ප්‍රහාර අතර වඩාත් සාර්ථකම ප්‍රහාරය මෙය බව සදහන් කරමිනි.
එමෙන්ම එදිනම සිදුවූ සෞදි අරාබි ප්‍රහාරය සාර්ථක නොවූ ආකාරය පිළිබදව ද ඔවුන් මෙම සගරාවේ ලිපිය මගින් පළකර තිබුණි.
කෙසේවෙතත් මීට පෙර මෙරටින් අයිඑස් සංවිධානයට සම්බන්ධ වූ පළමු ත්‍රස්ත සාමාජිකයා වන අබු ෂුරායිස් සෙයිලනි නමැති කරාටේ ගුරුවරයා ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ දී මියගිය පසුව දීර්ඝ ලිපියක් ඔහු පිළිබද පළකර තිබුණේ ‘ඩාබික්’ නමැති අයිඑස් සගරාවේ ය.
අයිඑස් සංවිධානය විසින් නිකුත් කරනු ලබන සගරාවල නම් කලින් කලට වෙනස් කෙරෙන අතර පසුව එම සගරාව ‘රුමියාහ්’ ලෙස පළ කෙරුණි.
මේ වනවිට අයිඑස් සගරාව පළවන්නේ ‘අල්-නූබා’ නමිනි.
එම සගරාව සීමිත ප්‍රමාණයක් මුද්‍රණය කරන අතර එමගින් ඉලක්ක කරනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කිරීමට ය.
සිය ප්‍රහාර, ඉදිරි අනතුරු ඇගවීම් හා අන්තවාදී මතවාදය ද මෙම සගරා තුළින් පළකෙරේ.



ලංකාවෙන් අයිඑස් ත්‍රස්ත සංවිධානයට බැදුණු පළමු සාමාජිකයා ගුවන් ප්‍රහාරවලින් මියගිය පසුව ඔහු පිළිබද අයිඑස් සගරාවක පළකර තිබූ ලිපිය.
