පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ අන්තවාදීන් ත්‍රස්ත කටයුතුවල නිරත වූ බවට ඊට පෙර තොරතුරු නොලැබුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සාක්ෂි දෙමින් පැවැසීය.
ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේයි.
අද පස්වරු 6ට අගමැතිවරයා මෙලෙස කාරක සභාව හමුවට පැමිණ සාක්ෂි දුන්නේය.
එහිදී පිළිතුරු දෙමින් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ආරක්ෂක කවුන්සිලය හා තමා වෙත ලැබුණේ ද රටේ ප්‍රධාන ප්‍රශ්න පිළිබඳ තොරතුරු පමණක් බවයි.
21 වැනිදා ප්‍රහාරය ගැන පෙර අනාවරණය වී තිබූ බුද්ධි තොරතුර තමාට හෝ තම අගමැති ආරක්ෂක අංශයට නොලැබුණු බව ද අගමැතිවරයා කීය.
එම බුද්ධි තොරතුර පිළිබඳ අගමැති ආරක්ෂක අංශයට දැනුම් නොදුන් බව පොලිස්පතිවරයා ද පිළිගත් බව අගමැතිවරයා සිහිපත් කළේය.
කිසියම් විශේෂ කරුණක් ඇතොත් බුද්ධි ප්‍රධානියා ඒ පිළිබඳ දුරකථනයෙන් හෝ තමාට දැනුම් දෙන නමුත් මෙම තොරතුර ගැන තමාට කිසිවක් නොකී බව අගමැතිවරයා පැවැසීය.
එවැනි බුද්ධි තොරතුරක් පිළිබඳ ලිපියක් තම ආරක්ෂක අංශයට හෝ ලැබී තිබුණා නම් තමා ඒ පිළිබඳ විමසන බව ද හෙතෙම කීය.
එමෙන්ම 21 වැනිදා කොළඹට පැමිණ විමසන තෙක් තමාට මෙවැනි ප්‍රහාරයක් ගැන කිසිදු දෙයක් පෙර දැනුම් නොදුන් බව අගමැතිවරයා අවධාරණය කළේය.
එහෙත් 2016-2017 කාලයේදී ද ඊට පසුව ද ISIS හා අන්තවාදීන් ගැන තොරතුරු ආරක්ෂක කවුන්සිලයට වාර්තා වූ බව ඔහු සඳහන් කර ඇත.
නමුත් එම අන්තවාදීන් ත්‍රස්ත කටයුතුවල නිරත වන බවට කිසිවක් වාර්තා නොවූ බව අගමැතිවරයා එහිදී අවධාරණය කරමින් කියා සිටියේය.
තමා අවසන් වරට ආරක්ෂක කවුන්සිලයට සහබාගී වූයේ 2018 ඔක්තෝබර් මාසයේ බවත් එම වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව එය රැස් නොවන බට වාර්තා වූ බවත් අගමැතිවරයා පැවැසීය.
නමුත් පෙබරවාරි මාසයේ ආරක්ෂක කවුන්සලය රැස්වූ බව තමාට වාර්තා වූ නමුත් ඒ සඳහා සහබාගී වන ලෙස ඇරයුමක් නොලද බව ද අගමැතිවරයා කියාසිටියේය.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද ඔහුට ඒ සඳහා ඇරයුම් නොලද බව තමා සමග පැවසූ බව ද අගමැතිවරයා කීය.
කෙසේවෙතත් බොහෝ තොරතුරු තමාට ලැබුණේ නීතිය හා සාමය අමාත්‍යවරයා මගින් බව ද අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
අද පැවැති කාරක සබාවට සාක්ෂි දීම සඳහා අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ද පැමිණ තිබුණි.