පිනෑන් නාහිමිගේ ආදාහනය 29 දා මැලේසියාවේ දී

Picture of ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

 

අපවත්වි වදාළ මැලේසියාවේ පිනෑන් හි ශ්‍රි මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රි දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මෙම 29 වෙනි සිකුරාදා සවස 2.00ට මැලේසියාවේ දි සිදුකෙරේ.

කෙටි දින කීපයක් ගිලන්ව සිටි නාහිමියෝ 27 වෙනිදා අළුයම අපවත්වි වදාළහ.

මැලේසියාව කේන්ද්‍ර කරගනිමින් ශ්‍රි ලංකාවෙි විවිධ සමාජ සේවාවන් රැසක් ආරම්භ කර ක්‍රියාත්මක කළ උන් වහන්සේ චීන ජාතිකයන් අතර ඉමහත් ගෞරවයට පාත්‍රව සිටියහ.

ශ්‍රි ලංකාවේ නිවාස අහිමිවුවන්ට නිවාස ඉදිකරදිම, ආබාධිත අයට රෝද පුටු ,කිහිලිකරු ආදි සිය ගණන් පරිත්‍යාග කළ නාහිමියෝ වරක් ලංකාවේ වැඩිහිටියන් වෙනුවෙන් වෙනම වැඩිහිටි රැකවරණ නිවාසයක්ද ආරම්භ කළහ.

මැලේසියාවේ චීන ජාතික බෞද්ධ පිරිස් වරින් වර ලංකාවට කැඳවාගෙනවිත් එම අයට තාවකාලික පැවිද්ද ලබාදි සතියක පමණ අධ්‍යාත්මික පුහුණුවක් ලබාදිමේ වැඩපිළිවෙළක් ඉන්දරතන නාහිමියෝ සෑම වසරකම ක්‍රියාත්මක කළහ.

අමත වෛද්‍ය සේවාව පිහිටුවා ඒ තුළින් වෛද්‍ය සායන පවත්වා වටිනා ඖෂධ වර්ග ⁣රෝගි ජනතාවට ලබාදිමට පියවර ගත් ඉන්දරතන නාහිමියො ලංකාවේ රෝහල කිපයකටම ගිලන්රථ පවා පරිත්‍යාග කළහ.
මැලේසියාවේ මහින්දාරාමයය අමතරව තවත් භාවනා මධ්‍යස්ථාන කිපයක්ම ආරම්භ කළ නාහිමියෝ නිහතමානි ගුණගරුක මහ තෙරනමක් වශයෙන් කාගෙත් ගෞරවයට පාත්‍රව සිටියහ.