පොහොට්ටුව දිනූ දිස්ත්‍රික් 16කම වැඩි ඡන්ද ලක්ෂයට වඩා පරතරයක්

Picture of අසංක

අසංක

මහ මැතිවරණයේ විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ මැතිවරණ දිස්ත්‍රික් 18 න් 16 කින්ම වැඩි ඡන්ද ලක්ෂය ඉක්මවා ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට නොහැකි වූයේ යාපනය , වන්නි, මඩකලපුව සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක හතර පමණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ප්‍රමාණය 522,078 ක් වේ. එය වැඩිම පරතරයක් ඇතිව ජයග්‍රහණය කළ දිස්ත්‍රික්කයයි.

දෙවැනියට වැඩිම පරතරයක් ඇතිව ජයග්‍රහණය කළ දිස්ත්‍රික්කය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ප්‍රමාණය 405,105 කි.

ගාල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇත්තේ ඡන්ද 314,878 ක පරතරයක් ඇතිවය.

කොළඹ, කළුතර, මහනුවර, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, අනුරාධපුර යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කර ඇත්තේ ලක්ෂ දෙකකට වැඩි ඡන්ද ප්‍රමාණයකිනි.

මාතලේ, පුත්තලම, පොළොන්නරුව, මොණරාගල, බදුල්ල යන දිස්ත්‍රික්ක ජයග්‍රාහනය කර ඇත්තේ ඡන්ද ලක්ෂයකට වැඩි පරතරයක් ඇතිවය.

අඩුම පරතරයකින් ජයග්‍රහණය කර ඇත්තේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වන අතර පරතරය ඡන්ද 23,738 කි.

නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇත්තේ 98381 ක පරතරයක් සහිතවය.