පොළොව කැඩී ඉහළට එද්දී බල්ල‍යි පවුලයි අරන් රහසේම පිටවූ මහනුවර බිල්ඩිමේ හිමිකරුට නඩු

Picture of අසංක

අසංක

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව නඩු පැවරීමට පියවර ගැනේ.

තිදෙනෙකු මරණයට පත්කරමින් කඩාවැටුණු එම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙම පියවර ගන්නා බව මධ්‍යම පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා කීය.

ගොඩනැගිල්ල ඉරිතලා පොළොවේ ටයිල් කැඩී ඉහළට එසවන විට එහි පදිංචිව සිටි ගොඩනැගිල්ලෙහි හිමිකරු සහ බිරිද නිවසේ සුරතලයට අතිකරන සතුන්ද රැගෙන ඊයේ අළුයම් කාලයේ නිවසින් පිටවගොස් ඇත.

එහෙත් ඔවුන් ඒ පිළිබඳ අවට වැසියන්ට අනතුරු ඇඟවීමක් පවා කර නැති බවත් ධර්මරත්න මහතා පැවැසීය.

තමන්ගේ නිවසේ බිත්ති ඉරිතලා ටයිල් ඉහළට එසවී ඇති බව අසල්වාසී නිවාසවලට දැනුම් දුන්නේ නම් ගොඩනැගිල්ල අසල නිවාසවලට කඩා වැටී ඒ එක් නිවසක ජීවත් වූ අහිංසක පවුලක් මිය නොයන බවද සංජීව ධර්මරත්න මහතා කීය.

ගොඩනැගිල්ලෙහි හිමිකරුවන් මෝටර් රථයක නැගී ආරක්ෂාකාරීව ඉවත්ව ඇති බවත් අඩුම තරමින් සිය ගොඩනැගිල්ල කඩා වැටීමේ අනතුරක් ඇති බවක් ඔවුන් පොලීසියට හෝ වෙනත් අංශයකට දැනුම් දී නැත.

අවට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පියවරක් ගත්තේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් නො‍ගෙන සිටීමට පවා තිබුණු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.