පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස නංවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

දැනට 55 ක් වන විශ්‍රාම වයස ඒ අනුව අවුරුදු 60 දක්වා ඉහළ ගියද සේවකයන්ට සිය අවශ්‍යතා මත අවුරුදු 55 දී සේවන අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

ඒ අනුව වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත මෙලෙස පාර්ලිමේන්තුවේදී සම්මත වී තිිබේ.