බටපොළ පැරණි වෙළෙඳ සංකීර්ණයේ බදු හිටිහැටියේ 1000%කින් වැඩි කරලා

Picture of අසංක

අසංක

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ, බටපොළ පිහිටි පැරණි දෙමහල් වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර 14ක් සඳහා බදු මුදල් වැඩි කිරීම හේතුවෙන් එහි වෙළඳ ප්‍රජාව අපහසුතාවයට පත්ව ඇත.

ස්වයං රැකියාවලින් සිය ජීවිතය ඉදිරියට ගෙන ගිය මෙම පිරිස මේ හේතුවෙන් දැනට දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
මෙම වෙළඳ සංකීර්ණය අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් කඩ හිමියන්ගේ මූලික ප්‍රාග් ධනය මඟින් ඉදි කරන ලද ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ලේ බිම් කුලිය ලෙස මීට පෙර මසකට, බිම් මහලේ කඩ කාමරයකින් රුපියල් 750.00 ක මුදලක් හා උඩු මහලේ කඩ කාමරයකින් රුපියල් 350.00 ක් බදු අය කෙරිණි.

ඉතා මෑතක ඉඩම් තක්සේරු කොමසාරිස් කාර්යාලය විසින් එම බදු මුදල මේ වන විට 700% හා 1000% අතර ප්‍රමාණයකින් එකවර ඉහළ දමා තිබේ.

මේ නිසා වෙළඳ ප්‍රජාව දැඩි අපහසුතාවයකට මුහුණ පා ඇත. එනම්, නව බදු පැනවීම අනුව පහල මාලයේ කඩ කාමරයකින් මසකට රුපියල් 5000 ක මුදලක් හා ඉහළ මාලයේ කඩ කාමරකින් රුපියල් 3500 ක මාසික කුලියක් අය කරනු ලබයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික අපහසුතා මත අදාළ බදු මුදල් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වෙළෙඳසැල් හිමියෝ කියති.

‌මෙම තක්සේරු කිරීමට අදාළව පැමිණි නිලධාරීන් මෙම ගොඩනැගිල්ල ඉදි වූයේ වෙළෙඳ ප්‍රජාවගේ ප්‍රාග්ධනයෙන් බව නොදැන මෙම තක්සේරු කිරීම කර ඇතැයි ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව, ගාල්ල තක්සේරු කොමසාරිස් කාර්යාලය හා වගකිව යුතු ආයතන දැනුම්වත් කිරීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලයට මේ සඳහා සහනයක් සැලසීමට අදාළව පියවර ගන්නැයි දැනුම්වත් කර තිබේ.

නමුත් මේ දක්වා කිසිඳු සහනයක් නොලැබීම හේතුවෙන් වගකිව යුතු බලධාරීන්ගේ දෑස් මේ සඳහා විවර වෙනු ඇතැයි බටපොළ වෙළඳ ප්‍රජාව අපේක්ෂා කරති.