බලශක්ති මිළ නැංවීමෙන් , බ්‍රිතාන්‍යයේ දරිද්‍රතාවය ඉහළ යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යය තුල මේ වනවිට ඉන්ධන , ගෑස් හා , විදුලි ගාස්තු ඉතා  වේගයෙන් ඉහළයමින් පවතින අතර  ඒ හේතුවෙන් එරට දරිද්‍රතා අනුපාතයද  සීග්‍ර ලෙස ඉහලයමින් ඇති බව වාර්තාවේ .

පොසිල ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් මෙම තත්වය ඇතිවී ඇති බවත් , බොහෝ බ්‍රිතාන්‍යය වැසියන්ට තම විදුලි බිල්පත් ගෙවීම බරපතල ගැටලුවක්ව ඇති බවත්  හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනය  අවධාරණය කර සිටී

මෙම තත්වය හේතුවෙන් , යහපත් ජීවන මට්ටමක් පවත්වාගෙන යාම සඳහා , බ්‍රිතාන්‍ය පුරවැසියන් සතු මානව හිමිකමද උල්ලංඝනය වෙමින් ඇති බව Human Rights Watch ආයතනයේ පර්යේෂිකා  රෙචල් ලා ෆොර්චූන් මහත්මිය සඳහන් කර ඇත .

බලශක්ති සැපයුම් ආයතන මේ වනවිට සියයට 54ක් දක්වා වූ විශාල අගයකින් තම මිල ගණන් ඉහල නංවා ඇති අතර ඊට අවසරය ලබාදුන් බ්‍රිතාන්‍යය රජය කෙරෙහි දැඩි ජනතා අප්‍රසාදයක් මතුවෙමින් ඇති බවද ෆොර්චූන් මහත්මිය  ආයතනයේ නිළ වෙබ් අඩෙවිය වෙත ලිපියක් සපයමින් සඳහන් කර ඇත .

සාමාන්‍ය බ්‍රිතාන්‍ය පවුලකට මේ වනවිට  වාර්ෂිකව , බලශක්තිය සදහා පවුම් 2000කට වැඩි මුදලක් ගෙවීමට,  සිදුව ඇති බවත් , මේ හේතුවෙන් ඔවුන්ට ආහාර , ඖෂධ , වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා මුදල් යෙදවීමද ගැටලුවක්ව ඇති බවත්  Human Rights Watch ආයතනය පවසයි .

මෙම අර්බුදය , නිවැරදිව පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍යය රජය අපොහොසත්ව ඇති බවත් , විශේෂයෙන් දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාව සඳහා කිසියම් සහනයක් ලබාදීමටහෝ රජය පියවර ගෙන නොමැති බවත් Human Rights Watch ආයතනය චෝදනා කර සිටී

පොසිල ඉන්ධනවලින් ඉවත්වී වෙනත් ස්වභාවික ප්‍රභවයන් කරා යොමුවීමට රජය  කටයුතු කලයුතු බවද  බලශක්ති කාර්යක්ෂමතා ප්‍රතිසංස්කරණ ඉහළ නැංවීම , වැඩපිළිවෙලක්  සකස් කල යුතු බවද Human Rights Watch ආයතනය යෝජනා කර ඇත ..

බලශක්ති විභවයන් රට තුල ඇතත් , තවමත් බ්‍රිතාන්‍යය , තම විදුලි අවශ්‍යතාවයෙන් 40%ක්ම සපුරා ගනුලබන්නේ ගෑස් භාවිතයෙන් වන අතර , එරට නිවාසවලින් 85% කට වැඩි ප්‍රමාණයක් උණුසුම් කෙරෙනුයේද ගෑස් භාවිතයෙන් බව වාර්තාවේ.