බ්‍රිතාන්‍ය ආර්ථිකය අර්බුදයක ,අලුත් අගමැතිනියත් ඉල්ලා අස්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයේ උද්ධමනය වසර 40කට පසු ඉහළම අගයට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේවනවිට බ්‍රිතාන්‍යය උද්ධමනය සියයට 10යි දශම 1කින් ඉහළ ගොස් ඇති බවයි.

මීට පෙර මෙතරම් ඉහළ අගයකින් උද්ධමනය ඉහළ ගොස් ඇත්තේ 1982 වසරේයි. උද්ධමනය ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ මිලද ඉහළ ගොස් ඇති අතර බ්‍රිතාන්‍යය ජීවන වියදම් අර්බුදයකට මුහුණ පා ඇති බව විදෙස් වාර්තාවල සදහන්. ආහාර මිල ගණන්වලට අමතරව බලශක්ති පිරිවැයද අධික ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය මේවනවිට අර්බුදයකට පත්ව ඇත්තේ එරට දේශපාලනයද අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති පසුබිමකයි.

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ලීසා ට්‍රස් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඇය මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය දේශපාලනයේ ඉකුත් සමයේ පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේයි.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට අනුප්‍රාප්තිකයෙකු පත්වන තුරු ඇය එම ධූරයේ කටයුතු කරනු ඇති.

ලීසා ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඇයගත් බදු සංශෝධන තීන්දුව දැඩි කතාබහක් ඇති කළා. ඒ හේතුවෙන් එරට ආර්ථිකයට සිදුවන බලපෑම් සලකා එම තීරණය ආපසු හැරවීමටයි ඇය කටයුතු කළේ. ගතවූ දින පහක කාලය තුළ ඇයගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ඉල්ලා අස්වූ අතර ඊයේ දිනයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

බ්‍රිතාන්‍ය දේශපාලනයේ ආන්දෝලනයක් ඇති කළ බොරිස් ජොන්සන් ධූරයෙන් ඉවත් වීමෙන් පසු ලීසා ට්‍රස් එම ධූරයට පත් කළේ දෙවන එලිසබත් මහ රැජිණ විසින්.

අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්ගේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරියද සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත

ඒ අනුව සතියක් තුළ බ්‍රිතාන්‍යය ආණ්ඩුවේ ධූරවලින් ඉල්ලා අස්වූ තෙවන පුද්ගලයා ඇයයි. මීට පෙර බ්‍රිතාන්‍යය මුදල් අමාත්‍යවරයාද සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.