ඇතැම් සංවිධාන විසින් බූස්ටර් එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් එම එන්නත ලබා ගැනීමට ජනතාව තුළ බියක් හටගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මේ හේතුවෙන් බොහෝ පිරිසත් බූස්ටර් එන්නත ලබා ගැනිම ප්‍රතික්ෂේප කරමින් සිටින බවය.
මේ හේතුවෙන් ඉදිරියේ දී විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
කොවිඩ් වසංගතය තවමත් අවසන් නොමැති බැවින්, සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළිනොපැඳීම තුළින් එහි ප්‍රතිඵලය ලබන වසරේ ජනවාරි අවසන් වෙනවිට ජනතාවට අත්විඳීමට සිදුවනු ඇතැයි ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා,
“ඉතාමත් කණගාටු කාරණය තමා තුන්වෙනි මාත්‍රාව ලබාගැනීමේ දී හා දරුවන් සඳහා මේ මාත්‍රාව ලබාදීමේ දී ජනතාව බියවැද්දීමකට ලක්කර තිබෙනවා විවිධ පාර්ශව. එහි ප්‍රතිඵලයක් විදියට තුන්වෙනි මාත්‍රාව ලබාගැනීමේ උනන්දුවේ යම්කිසි අඩුවක් අපිට දකින්න ලැබෙනවා. එන්නත්වල අඩුවක් නෙමෙයි පේන්න තියෙන්නේ, මේ වෙලාවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ නිලධාරීන් ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන ආකාරය අපිට හොඳටම පේන්න තියෙනවා. අපිට පේන්න තියෙනවා යම් පුද්ගලයෙක් සංවිධාන අටවාගෙන මේ එන්නත්කරණය පිළිබඳ විද්‍යාත්මක කාරණාවලින් සනාථවෙලා තියෙන කාරණා පිළිබඳ බියවැද්දීම් සිද්ධ කරනවා. ඒ තුළ ජනතාව එන්නත්කරණයට යොමුවීමේ යම්කිසි අඩුවක් අපිට දකින්න තියෙනවා. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ තත්ත්වය තුළ මාර්තු, අප්‍රේල් වෙන විට කොවිඩ් වසංගතයේ තුන්වෙනි මාත්‍රාව ලබානොගත් කාණ්ඩය තුළ රෝගය උත්සන්න වීමේ අවධානමක් තියෙනවා කියලා ජනතාවට කියන්න ඕනේ.”