දම්පත් රණසිංහ
දැඩි ආන්දෝලනයට තුඩුදුන් මන්නාරම සමූහ මිනීවළෙන් හමුවූ ඇටකැබලි 1499-1719 කාලවකවානුවට අයත් ඒවා බව අමෙරිකාවේ ෆ්ලොරිඩාහි බීටා ඇනලිටිකා ආයතනය කරන ලද කාබන් පරීක්ෂාවේදී සනාථ වී තිබේ.
එම වාර්තා අද මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයේදී ප්‍රසිද්ධ කරන ලදී.
මෙම සමූහ මිනීවළ හමුවූයේ ගිය වසරේ මාර්තු 20 වැනිදාය.
සතොස ගොඩනැගිල්ලක් තැනීම සදහා බිම සකස් කිරීමේදී මෙය හමුවී තිබේ.
බොහෝ දෙනා මෙය සැළකුවේ යුධ සමයේ සිදුවූ ගැටුම්වලට සම්බන්ධ අස්ථි බවයි.
මෙහි අස්ථි කැබලි 325ක් හමුවී තිබිණ.
තවමත් අස්ථි හමුවෙමින් තිබෙන අතර අහඹු ලෙස තෝරාගත් අස්ථි කොටස් කාල නීර්ණය සදහා අමෙරිකාවට යවන ලදී.
මේ වනවිටත් එහි කැණීම් සිදුකරන අතර මෙම සිරුරු පිළිවෙළකට තිබීම නිසා එය ඉපැරැණි සුසාන භූමියක් ලෙස සැළකේ.