මහර බන්ධනාගාරයේ සිද්ධියට පංච පුද්ගල කමිටුවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආරක්ෂක ලේකම්ගෙන් පොලිස්පතිටත් නියෝගයක්
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර  ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට ද විමර්ශනයක් කරන ලෙස නියෝග කර තිබේ.
මහර බන්ධනාගාරය තුළ පෙරේදා (29) ඇතිවූ සිද්ධිය විමර්ශනය කර නිර්දේශ ඇතුළත්  අතුරු වාර්තාවක් සතියක් තුළද, මාසයක් තුල කෙටි කාලීන හා දිගු කාලීනව ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පූර්ණ සවිස්තර වාර්තාවක් ද ඉදිරිපත් කරන ලෙස එම කමිටුවට නියෝග කර ඇත.
එහි සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියයි.
අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ කපු ගස්වත්ත මහතා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,  හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ මහතා සෙසු සාමාජිකයන් ය.
අදාළ සිද්ධියට පාදක වූ කරුණු, ඒ සදහා වගකිව යුතු පාර්ශවයන් හා ගතයුතු ක්‍රියාමාර්ග සහ මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් විය යුතු බවට අමාත්‍යවරයා අදාල කමිටුවට පෙන්වා දී ඇත.
මේ අතර මහර බන්ධනාගාරයේ වාර්තා වු ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන්, පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් දී තිබේ.
කොවිඩ් -19 හේතුවෙන් තමන් අවදානමට ලක්ව ඇති බව පවසමින් රිමාන්ඩ් රැඳවූවන් ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා එහි රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ව සිය භාරයට ගෙන අර්බුදකාරී තත්ත්වයක් ඇතිකරමින් දේපළ විනාශ කරමින් ගී ට්‍යබමින් උණුසුම් තත්ත්වයක් ඇති කර තිබුණි.
ඉන්පසු තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ පිරිසක් කැඳවීය.
රැඳවියන් විසින් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට සහ ගබඩාවට ගිනි තබා තිබේ.
සිදුවීම හේතුවෙන් 8 දෙනෙක් මරණයට පත්ව ඇති අතර තුවාල ලැබූ ගණන 71කි.