මානව හිමිකම් කවුන්සිලයේදී රටවල් 47ක සහය අපිට ඕනෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

ජිනීවා හිදී ඊයේ (22) ඇරඹුණු 46 වෙනි මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්මත වීම  වළක්වා ගැනීමට නම්  සාමාජික රටවල් 47 සහය ලබා ගැනීමේ අභියෝගය අප හමුවේ ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කර සිටී.

 

මෙම අභියෝගය ජයගැනීම සඳහා රටක් ලෙස ශක්තිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුව ඇති බවත් ඒ පිලිබඳ නිසි ලෙස  සන්නිවේදනය කළ යුතුව ඇති බවත්  මහානාමහේවා මහතා මාධ්‍ය වෙත ඊයේ (22) පැවසීය .

 

මේ වන විටත් මානව හිමිකම්  මහ කොමසාරිස්වරියගේ වාර්තාව පදනම් කරගෙන සම අනුග්‍රහය දක්වන රටවල් 06 එකතු වී තවත් වාර්තාවක් මානව හිමිකම කොමසාරිස් කාර්යාලයේ ලේකම් කාර්යාලය වෙත භාර දීමට නියමිත අතර ඔවුන් සූදානම් වන්නේ  ශ්‍රී ලංකාව තුළ යුධ අපරාධ සිදුව ඇති බවට තහවුරු කිරීමට යැයිද  මහනාමහේවා මහතා  මෙහිදී  සඳහන් කළේය .

 

ඒ අනුව ජිනීවා මානව හිමිකම් කොමිසමත් ඊට සහය දක්වන බටහිර රටවල් සූදානම් වන්නේ ශ්‍රී ලංකාව තුළ යුධ අපරාධ සිදුව ඇති බව පෙන්වා දී  ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවට අපව රැගෙන යාම බවද  මහානාමහේවා මහතා අනතුරු අඟවා සිටී

 

එම නිසා ශ්‍රී ලංකාවේ පාර්ශවයන්ද ශක්තිමත් බලපෑමක් සිදුකළ යුතු බවත් විශේෂයෙන් මෙහිදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ රට සම්බන්ධයෙන් එකම ස්ථාවරයක සිටිය යුතු බවත්  ඔහු අවධාරණය කළේය

 

මෙහිදී අපගේ විදේශ කටයුතු අමාත්‍යාංශයට විශාල වගකීමක් පැවරෙන අතර මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් හි තානාපතිවරු වෙන වෙනම හමු වී මේ ගැන දැනුවත් කිරීම වැදගත් බවත් නමුත් අපගේ පාර්ශවයෙන් නිවැරදිව තොරතුරු සන්නිවේදනය නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය .