මැතිවරණ ආරක්ෂාවට රටපුරා 82000ක බළකායක්

Picture of අසංක

අසංක

මෙවර මහා මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් 82901 ක ආරක්ෂක බලකායක් යෙදවෙන බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතා සදහන් කළේ සාමාන්‍ය පොලිස් රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් 61078 දෙනෙක්ද, පොලිස් විශේෂ කාර්ය බලකායේ 3145 දෙනෙක්ද, රාජ්‍ය බුද්ධි සේවයේ 1433 දෙනෙක්ද, කොට්ඨාශ බුද්ධි ඒකකවල 935 දෙනෙක්ද, පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන් 1926 දෙනෙක්ද, ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ ඇතුළු ප්‍රභූ ආරක්ෂක අංශවල නිලධාරීන් 2824 දෙනෙක්ද, සිවිල් ආරක්ෂක බලකායේ 10750 දෙනෙක්ද වශයෙන් මැතිවරණයේ ආරක්ෂාවට නිලධාරීන් යෙදවෙන බවයි.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල අධික්ෂණ නිලධාරීන් ලෙස යෙදවෙන්නේ පොලිස් අධිකාරීවරුන් බවද ඔහු කීය. ඊට අමතරව සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි ජංගම මුර සංචාර 3069 ක් රට පුරා ක්‍රියාත්මක වන බවත් ඒ එක් කණ්ඩායමක නිලධාරීන් පස් දෙනෙක් සිටින අතර ඒ අනුව ජංගම මුරසංචාර සේවයේ යෙදවෙන නිලධාරීන් ගණන 15345 කි. ඊට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 988 දෙනෙක්ද සිවිල් ආරක්ෂක බලකායේ 5146 දෙනෙක්ද යෙදවෙන බවද අශෝක ධර්මසේන මහතා සදහන් කළේය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට එක් මධ්‍යස්ථානයකට 02 දෙනා බැගින් අවි ගත් පොලිස් නිලධාරීන් 25998 දෙනෙක් යොදවා තිබේ. ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඇතුලත ආරක්ෂාවට එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට 52 දෙනා බැගින් පොලිස් නිලධාරීන් 3328 දෙනෙක්ද, ඇතුළත ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායේ අධික්ෂණ නිලධාරීන් 45 දෙනෙක්ද, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පිටත ආරක්ෂාවට එක් මධ්‍යස්ථානයකට නිලධාරීන් 15 දෙනා බැගින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 960 දෙනෙක්ද, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පිටත ආරක්ෂාවට එක් මධ්‍යස්ථානයකට නිලධාරීන් 50 දෙනා බැගින් සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 3200 දෙනෙක්ද යෙදවෙන බව ද අශෝක ධර්මසේන මහතා පැවැසීය.

එක් කණ්ඩායමකට නිලධාරීන් 10 දෙනා බැගින් පූර්ණ කැරළි මර්දන බලකා 64 ක් ද නිලධාරීන් 07 දෙනා බැගින් අර්ධ කැරළි මර්දන කණ්ඩායම් 89 ක්ද සූදානමින් තබා තිබේ. ස්ථිර මාර්ග බාධක 148 ක්ද, ක්ෂණික මාර්ග බාධක 121 ක්ද, සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි යොදවා ඇත.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ මෙන්ම මෙවරත් දිවයිනේ සෑම පොලිස් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ නිල ඇදුමේ සවිකර ගැනීමට හැකි ප්‍රමාණයේ කැමරාවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා ඊයේ (04) සදහන් කළේය. යම් නීති විරෝධි ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ සියල්ල අදාල නිලධාරීන් විසින් එම කැමරාවෙන් වීඩියෝගත කර ඉදිරි නීතිමය කටයුතු සදහා සාක්ෂියක් ලෙස භාවිතා කරන බවද හෙතෙම කීය.

ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන්ට ගිනි අවි නිකුත් කර ඇත්තේ අවශ්‍ය උවහොත් භාවිතා කිරීමට බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ බලය පාවිච්චි කරන ආකාරය ගැන පැහැදිලිවම සදහන් කර ඇති බවද ජාලිය සේනාරත්න මහතා පැවැසීය.